• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මාළු මිළ ස්ථාවරව පවත්වාගෙන යාමට ක්‍රමවත් වැඩපිළිවෙළක්

Hon deleep wedhaarachchi news2017053මාළු මිල ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා විධිමත් වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා තීරණය කර තිබේ.


රාජ්‍ය අමාත්‍යවරයා මෙවැනි තීරණයකට එලැබ ඇත්තේ ඇතැම් කාල වලදී මාළු මිල අසීමිත ලෙස ඉහළ යාමෙන් පාරිභෝගික ජනතාව විශාල අපහසුතාවට පත්වන බැවින් හා අසීමිත ලෙස මාළු මිල පහල යන අවස්ථාවලදී ධීවර ජනතාව පත්වන අපහසුතා සැලකිල්ලට ගෙනය.   

රාජ්‍ය අමාත්‍යවරයා මෙම තීරණය ගනු ලැබුවේ  ධීවර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ ඊයේ  [ 02 ] පැවති සාකච්ජාවකට එක් වෙමිනි.


ධීවර ක්ෂේත්‍රයට අදාළ ව රාජ්‍ය අමාත්‍යවරයාට පැවරී ඇති කටයුතු විධිමත්ව හා කාර්යක්‍ෂමව ක්‍රියාත්මක කිරීම, පවතින ගැටලු හදුනාගැනීම , ගැටලු වලට තිරසාර විසදුම් ලබාදීම, අදහස් හා යෝජනා ලබාගැනීම, ධීවර කර්මාන්තය මෙන්ම ධීවර ප්‍රජාව වෙනුවෙන් කළ යුතු හා කළ හැකි සේවාවන් පිළිබඳ සාකච්ඡා කිරීම මෙම හමුවේ අරමුණය.

නෙලාගන්නා මත්ස්‍ය සම්පත ගුණාත්මක හා නැවුම් බවකින් යුක්තව ජනතාවට ලබාදීමට ගත යුතු පියවර පිළිබඳ ව මෙන්ම මත්ස්‍ය සම්පත කල් තබා ගැනීම, ආහාරයට නුසුදුසු මාළු අලෙවි කිරීම නැවත්වීම මෙන්ම එවැනි පුද්ගලයන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වුහ.


විශාල වශයෙන් ආනයනය කරණ මත්ස්‍ය ආශ්‍රිත නිෂ්පාදන සිමා කර එම නිෂ්පාදන ශ්‍රී ලංකාව තුළ සිදුකිරීමේ හැකියාව මෙන්ම ඒ සඳහා ගතයුතු පියවර පිළිබඳ ව මෙහිදී නිලධාරීන්ගෙන් කරුණු විමසු රාජ්‍ය අමාත්‍යතුමා දේශීය නිෂ්පාදනය වැඩිකිරීම වෙනුවෙන් වැඩපිළිවෙළක් කඩිනමින් සකස් කර ඉදිරිපත් කරන්නැයි නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. ඊට අමතර ව විශාල ප්‍රමාණයේ ධීවර යාත්‍රා ගෙන්වීමට දේශීය ව්‍යවසායකයින් දිරිමත් කිරීම සඳහා ද වැඩපිළිවෙළක් සකසන ලෙස උපදෙස් දෙනු ලැබිය.


එමෙන්ම රට අභ්‍යන්තරයේ ජනතාවගේ ඒක පුද්ගල වාර්ෂීක මත්ස්‍ය පරිභෝජනය ඉහළ නැංවීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කරන්නැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.


රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා මෙම උපදෙස් ලබා දුන්නේ රට අභ්‍යන්තරයේ ජීවත් වන ජනතාවගේ ඒක පුද්ගල වාර්ෂීක මත්ස්‍ය පරිභෝජනය කිලෝග්‍රෑම් 1-2 ත් අතර ප්‍රමාණයක්  දක්වා පහත වැටී ඇති බවට ඉදිරිපත් වූ කරුණු හේතුවෙනි . එහෙත් මුහුදු ප්‍රදේශ ආශ්‍රිත ජනතාවගේ ඒක පුද්ගල වාර්ෂීක මත්ස්‍ය පරිභෝජනය කිලෝග්‍රෑම් 15 ත් 18 අතර අගයක පවති.


 ආපදාවන්ට ලක්වන ධීවර කාර්මිකයන්ට හිමි වන්දි ලබා දීම නිසි ලෙස ක්‍රියාත්මක නොවන බව මෙහිදී පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා ධිවරයාගෙන් විවිධ බදු හා රක්‍ෂණ වාරික නිසිලෙස අයකර ගන්නේ නම් හදිසි අනතුරකදී හිමිවිය යුතු වන්දි නොලැබීම පිළිබඳ ව කඩිනමින් වාර්තාවක් සපයන ලෙස උපදෙස් දුන් රාජ්‍ය අමාත්‍යවරයා මෙම තත්ත්වය පිළිබඳ ව මුදල් අමාත්‍යංශය ඇතුළු වගකිවයුතු ආයතන සමඟ සාකච්ඡා කර කඩිනම් විසඳුමක් ලබා දීමට පියවර ගන්නා බව අවධාරණය කළේය.


මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා “ ඇත්තෙන්ම මම සතුටු වෙනවා මෙවැනි සාකච්ඡාවක් පවත්වලා මේ කර්මාන්තයේ පවතින ගැටලු හදුනා ගැනීමටත් එවැනි ගැටලු වලට කඩිනම් විසඳුම් ලබා දීමටත් අවස්ථාව උදාවීම පිළිබඳ ව . මොකද මගේ බලාපොරොත්තුව මෙරට ධීවර ජනතාවට උපරිම සේවයක් කිරීම. මම මේ ධීවර කර්මාන්තයට ගොඩක් ආදරෙයි. මේ කර්මාන්තය විනාශ වීමට ඉඩ දෙන්න බැහැ . ඒ නිසා මම විශ්වාස කරනවා ධිවරයට වගේම පාරිභෝගික ජනතාවටත් සදාරණයක් ඉටුවන අන්දමින් මේ කර්මාන්තය පවත්වාගෙන යා යුතු බව. මිල ඉහළ යාම මගින් ජනතාව අපහසුතාවට පත්වෙනවා. ඒ වගේම තමයි මිල විශාල ලෙස පහල යාමෙන් ධීවර ජනතාවත් අපහසුතාවට පත්වෙනවා. මේ නිසා මාළු මිල ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාමේ ක්‍රම වේදයක් අවශ්‍යයි. ඒ වගේම තමයි අන්තර්ජාතික නීති රීති වලට අනුගත වෙමින් ධීවර කර්මාන්තයේ නිරත වීම පිළිබඳ දැනුමක් ධීවර ජනතාවට ලබාදිය යුතුයි . ”


“ වැල්ලට පයක් නොගහපු පුද්ගලයන් ධීවර කර්මාන්තය සඳහා කියලා කොරියාවේ රැකියාවලට ගිහිල්ලා. එහෙම කොරියාවේ ධීවර රැකියා සඳහා ගිය ඇතැම් පුද්ගලයෝ මිය ගිහින්. ධීවර රැකියා යැයි කියලා ගිය තවත් හය හත්සියයක් පමණ පැන ගිහින් . එකට හේතුව මේ කර්මාන්තය පිළිබඳ දැනුමක් නොමැතිවීම. එය රටට විශාල කැළලක් . මේ පිළිබඳ ව මම කොරීයානු රජය වගේම විදේශ රැකියා අමාත්‍යංශය සමගත් සාකච්ජා කළා . ඒ අනුව ධීවර තාක්‍ෂණ විද්‍යාල දෙකක් පිහිටුවීමට අවශ්‍ය කටයුතු සැලසුම් කරලා තියෙන්නේ . මේ සඳහා සම්පුර්ණ සහය ලබාදීමට කොරීයානු ජාතික ධීවර සමුපකාර සම්මේලනය කැමැත්ත පල කළා. මම විශ්වාස කරනවා මෙම තාක්‍ෂණ විද්‍යාල වල පුහුණුව ලබාදීමෙන් අනතුරුව ධීවර අමාත්‍යංශයේ සහතිකය නැතිව ධීවර රැකියා සඳහා පිටරට යැවීම නැවැත්විය යුතු බව . ”

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.