• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

දිළිඳුකම පිටු දැකීමේ “ග‍්‍රාමශක්ති” ජනතා ව්‍යාපාරය ඇරඹේ

He news 2017 05 05 11නැති බැරි අය, ඇති හැකි අය බවට පත්කරන ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය සාර්ථක කර ගැනීමේ ජාතික වගකීම ඉටුකිරීමට සියලුදෙනා එක්විය යුතු බව ජනපති පවසයි.



පිටරටින් ගෙන්වන සියලු ආහාර ද්‍රව්‍ය සහ අනෙකුත් භාණ්ඩ පිළිබඳ විධිමත් සමීක්ෂණයක් සිදු කොට රටට ගෙන්වීමට සුදුසු දේ පමණක් ගෙන්වීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරන බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ සමාරම්භක උත්සවයට අද (04) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී එක්වෙමිනි.


දුගී දුප්පත් ජනතාව එයින් මුදා ගනිමින් ඇති හැකි පිරිසක් බවට පත්කිරීම සඳහා ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ඇරඹේ. 2017 වසරේ රට දුගී භාවයෙන් නිදහස් කර ගැනීමේ වැඩපිළිවෙළේ ප‍්‍රධාන ව්‍යාපෘතිය ලෙස මෙය ආරම්භ කෙරෙන අතර, ඒ අනුව වර්ෂ 2020 වන විට ගම් 15,000ක ජීවත්වන ජනතාවගේ මූලික අවශ්‍යතා සැපිරීමට කටයුතු කෙරේ.


මෙම උත්සව සභාව ඇමතු ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ දේශීය කර්මාන්ත හා දේශිය ව්‍යවසායකයින් නැංවීම සහ රටේ ජනතාව දුගී භාවයෙන් නිදහස් කර ගැනීම සඳහා පුළුල් ජාතික වැඩසටහනක අවශ්‍යතාවය සපුරාලමින් ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ආරම්භ කෙරෙන බවයි.

ගම් මටිටමේ සිටින සියලු ක්ෂේත‍්‍ර නිලධාරින් මෙම වැඩසටහන සමග ඒකරාශී විය යුතු බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා ලබන මාසයේ සිට සෑම දිස්ති‍්‍රක්කයකම සංචාරය කරමින් ප‍්‍රාදේශීය දේශපාලන නායකයත්වයන් සහ රාජ්‍ය නිලධාරින් සමග එක්ව මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට තමා අපේක්ෂා කරන බව ද කියා සිටියේය.


ඇති හැකි පිරිසගේ වත්පොහොසත්කම් නැති බැරි පිරිස් අතරද බෙදී යා යුතු බව මෙහිදී ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා සඳහන් කළේ, රට පාලනය කළ යුත්තේ පොහොසතුන් නොව මධ්‍යම පාන්තිකයින් බව තම විශ්වාසය බවයි.


නැති බැරි සියලු ජනතාව ඇති හැකි අය බවට පත්කිරීමට ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය තුළින් හැකියාව ලැබෙනු ඇති බවට ද මෙහිදී විශ්වාසය පළ කළ ජනාධිපතිතුමා එය සාර්ථක කර ගැනීමේ ජාතික වගකීම ඉටු කිරීමට පක්ෂ, පාට භේදයකින් තොරව සියලු දෙනා ඒකරාශි විය යුතු බව ද අවධාරණය කළේය.


සමෘද්ධිමත් ආර්ථික මිනිසෙකු මෙන්ම, වගකීම් උසුලන, අයිතිවාසිකම් හඳුනන සමාජයීය මිනිසෙකු බිහි කිරීම ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ අරමුණයි.
වසර 2020 වන විට ග‍්‍රාමශක්ති වැඩසටහන යටතේ ප‍්‍රජා පාලිත ග‍්‍රාමසේවා වසම් පන්දහසක් ඇති කිරීමට ද නියමිතය.
 
 
ග‍්‍රාමසේවා වසමක ජනගහනය අනුව රු 8000 ක් සේ ගණන් බැලෙන ඒක පුද්ගල රාජ්‍ය ආයෝජනයක් ග‍්‍රාමීය සංවර්ධන අරමුදලක් ලෙස වසර 4ක කාලයක් සඳහා ග‍්‍රාම සේවා වසම් සඳහා සෘජුව ලබාදීම මේ යටතේ සිදු කෙරේ.
 
 
ජීවන මාර්ග දියුණු කරගැනීම, සංවර්ධන තීන්දු තීරණ ප‍්‍රජාව විසින් ගැනීමේදී ප‍්‍රතිඵල පාදක කරගත් රාජ්‍ය මූල්‍ය ආයෝජන, ප‍්‍රජාවගේ ව්‍යවසායකත්වය වර්ධනය කිරීමේදී ප‍්‍රාග්ධන පහසුකම් ලබාදීම, ග‍්‍රාමීය ව්‍යවසායකත්වය වැඩි දියුණු කිරීමට පෞද්ගලික අංශයේ සකී‍්‍රය සහභාගිත්වය ලබා ගැනීම මෙමගින් ලැබෙන ප‍්‍රතිලාභයන්ය.
 
 
රාජ්‍ය හා පෞද්ගලික අංශයේ අත්වැල් බැඳ ගැනීම තුළ දිළිඳුකම පිටුදැකීම සඳහා සංවර්ධන හා පර්යේෂණ පහසුකම් ලබාදීම, නව තාක්ෂණය හා නවෝත්පාදනය පිළිබඳ අදහස් පදනම් කර ගනිමින් ග‍්‍රාමීය කෘෂිකාර්මික ව්‍යවසායකත්වය වැඩි දියුණු කිරීම මෙමගින් සිදු කෙරේ.
 
 
සමස්තයක් වශයෙන් ජනතාවගේ මූලික අවශ්‍යතා හා ගොඩනැගෙන අවශ්‍යතා පිරිමැසීම සඳහා ග‍්‍රාමනිලධාරි වසම් මට්ටමින් වැඩපිළිවෙළක් ගොඩනැගීම මේ හරහා සිදු වේ.
 
 
පූජ්‍ය අතුරලියේ රතන ස්වාමින් වහන්සේ ද, අමාත්‍යවරුන් වන සරත් අරමුණුගම, එස්.බී. දිසානායක, සජිත් පේ‍්‍රමදාස, දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප‍්‍රනාන්දු යන මහත්වරුන් ද ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු, දිස්ති‍්‍රක් ලේකම්වරු, ප‍්‍රාදේශීය ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරින් ද, ලෝක බැංකුවේ නියෝජිතයින් ඇතුළු දෙස් විදෙස් නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
 
 
2017-05-04 වන දින දිළිඳුකම පිටුදැකීම සඳහා වන “ග්‍රාම ශක්ති” ව්‍යාපාරය ආරම්භ කරමින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව
 

2017 වර්ෂය දුගීබවින් නිදහස්වීමේ වර්ෂය ලෙස නම් කිරීමත් එම අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් ඇරඹෙන දුගීබවින් නිදහස්වීම පිළිබඳ පුළුල් ජනතා ව්‍යාපාරයේ ආරම්භක අවස්ථාවේදී ඔබව හමුවීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා.
 
 
අපේ රටේ දුගීභාවය සහ දුගීබවින් නිදහස්වීම පිළිබඳව ආර්ථීක දරිද්‍රතාවය පිළිබඳව නිදහසින් පසු ලංකාවේ ක්‍රියාත්මකවූ විවිධ වැඩසටහන්, ජාතික ව්‍යාපාර පිළිබඳව අප කාටත් අත්දැකීමක් තිබෙනවා. අවබෝධයක් තිබෙනවා. අපේ රටේ දේශපාලනඥයින්ට සහ රාජ්‍ය නිලධාරීන්ට මේ පිළිබඳව පසුගිය දශක පහක හයක කාලය ගත්විට ඉතා පුළුල් අවබෝධයක් තිබෙනවා. මූලික වශයෙන් සහනාධාර, අඩු ආදායම්ලාභී පවුල් වලට දෙන විවිධ පහසුකම් ආදී මේ සහනාධාර ඉතිහාසය අපි දන්නවා. මුල්කාල සීමාව හාල් පොතෙන් ආරම්භ කොට ආහාර සලාකය, 1977 ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ රජය බලයට පත්වෙලා පළවන අයවැය ඉදිරිපත් කරපු මුදල් ඇමතිතුමා හාල් පොත අහෝසි කිරීමට යෝජනා කළා.
 
 
ඉන්පසු රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා නායකත්වය දුන් “ජන සවිය” වැඩසටහන ආරම්භ වුණා. ඉන්පසු 1994 චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ කාලසීමාව ආරම්භයත් සමගම සමෘද්ධි ව්‍යාපාරය ආරම්භ වුණා. පසුගිය කාලය තුළ සමෘද්ධි ව්‍යාපාරය ගැමි දිරිය බවට පත්වුණා. මේ අංශ, ව්‍යාපෘති, ජාතික වැඩසටහන් මෙන්ම ඉන් බාහිරව විවිධ අමාත්‍යාංශ ආයතන යටතේ ජාතික වශයෙන් පළාත් වශයෙන් සහ දිස්ත්‍රික්ක වශයෙන් ක්‍රියාත්මක වූ වැඩසටහන් රාශියක් පිළිබඳව අප කාටත් අතීත අත්දැකීම් රාශියක් තිබෙනවා. ඒ අතීත අත්දැකීම් සහ අවබෝධය සමග අපි ආරම්භ කළ නව වැඩපිළිවෙල “ග්‍රාම ශක්ති” වැඩපිළිවෙල ඉදිරියට ගෙනයාම සඳහා මම ඔබ සියලු දෙනාගේම සහයෝගය පළමුව ඉල්ලා සිටිනවා. මේ රටේ රාජ්‍ය සේවයේ සිටින සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සිට සියලූම ක්ෂේත්‍ර නිලධාරීන් කෙරෙහි මම විශ්වාස කරනවා මේ වැඩසටහන කැපවීමෙන් , වුවමනාවෙන්, උනන්දුවෙන්, ආත්මවිශ්වාසයකින්, ධෛර්යයමත්ව අප බලාපොරොත්තු වන ඉලක්ක කරා යාමට ඔබ සියලු දෙනාම කටයුතු කරයි කියා.
 
 
අපේ රටේ දීර්ඝ කාලයක් යුද්ධය පැවැති රටක් විදියට එහි පසුබිමත් සමග අපේ ආර්ථීකයේ ඇතිවූ අඩාලවීම්, දුගීබාවය වැඩි වීම තුළින් අපි රටක් විදියට දුප්පත්කමින් නිදහස්වීම පිළිබඳව මේ ව්‍යාපෘති ජනතා ව්‍යාපාර වගේම ඉන් බාහිරවත් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය වෙනවා. එස්.බී. දිසානායක ඇමතිතුමා සමෘද්ධි ව්‍යාපාරයේ අමාත්‍යාංශයට නායකත්වය ලබා දෙනවා. සජිත් ප්‍රේමදාස ඇමතිතුමා දුප්පත් ජනතාව සඳහා නිවාස ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කරනවා. අපි මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී අමාත්‍ය මණ්ඩලයේ සාකච්ඡා කොට සරත් අමුණුගම ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙහෙයුම් කමිටුවක් පත්කොට අදාළ විශේෂඥයින්, උපදේශකයින් හා විද්වතුන් විශාල පිරිසක් එක්කරගෙන ලෝක බැංකුව සහ අපට මුදල් දෙන විවිධ ජාත්‍යන්තර ආයතන එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහයෝගය ඒ අංශ ගණනාවක සහයෝගය තුළ මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.
 
 
සරත් අමුණුගම ඇමතිතුමා සඳහන් කළ ආකාරයට, 2017 වර්ෂය ගත්විට “ග්‍රාම ශක්ති” වැඩපිළිවෙළට අමතරව බොහෝ අමාත්‍යාංශ වලින් විශාල මුදල් ප්‍රමාණයක් මීට අදාළව වෙන්කර තිඛෙනවා මේ විෂය ක්ෂේත්‍රයට අදාළ බොහෝ ව්‍යාපෘති සදහා. අධ්‍යාපන, සෞඛ්‍යය, නිවාස, කෘෂිකර්ම, වාරි මාර්ග සමාජ සුභ සාධනය වැනි ව්‍යාපෘති රාශියක්. ඒ සියල්ලෙහිම මූලික ඉලක්ක තුළින් වාඩත් ප්‍රතිලාභ ගත යුත්තේ මේ රටේ පොදු ජනතාවයි. විශේෂයෙන්ම දුප්පත් ජනතාවයි.
 
 
අපේ රටේ දුගීභාවය පිළිබඳව කතා කරන විට යුද්ධය පැවැති ප්‍රදේශවල ජනතාවගේ දරිද්‍රතාවය වැඩියි. අදත් එය එම ප්‍රදේශවල දකින්න තිබෙනවා. කන්ද උඩරට වතුකරය ගත්විට වතුකරයේ ජනතාවගේ දුගීබව වැඩි බව පෙනෙනවා. එමෙන්ම පොදුවේ රට වශයෙන් ගත්විට නාගරික සහ ග්‍රාමීය වශයෙන් කොටස් දෙකෙහි සිටින දුගී ජනතාවගේ තත්ත්වය කාන්තාවන්, දරුවන්, තරුණ පිරිස් යන සෑම අංශයක් පිළිබඳව අපි අවධානය යොමු කරමින් “ග්‍රාම ශක්ති” ජනතා ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීම අපි කාගේත් වගකීමක් සහ යුතුකමක් වෙනවා. රාජ්‍ය සේවයේ ප්‍රධානීන් විදියට ඔබ සියලු දෙනාගෙන් මා ඉල්ලා සිටින්නේ ඒ ජාතික වගකීම ඔබ විසින් ඉටු කළ යුත්තේ රට වෙනුවෙන් සහ රටේ ජනතාව වෙනුවෙන්.
 
 
මූලික වශයෙන් හඳුන්වා දුන් වැඩසටහනත් එක්ක මෙහි සංවිධාන ව්‍යූහය පිළිබඳව ජාතික මෙහෙයුම් කමිටුව ඒවගේම පළාත් වශයෙන්, දිස්ත්‍රික් වශයෙන්, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වශයෙන්, ඒවගේම ග්‍රාම නිලධාරී කොට්ඨාස වශයෙන්, මේ වැඩසටහන ක්‍රියාත්මකවීම සම්බන්ධයෙන් අපේ අතිරේක ලේකම් ජයන්ත මහත්මයා කරුණු පැහැදිලි කළා. ඒ නිසා එහි තිබෙන ජාතික වැඩසටහන ක්‍රියාත්මක කරන්න රජය විදියට ඔබ අප සෑම කෙනෙක්ම එක්වෙලා මේ කාර්ය සාර්ථක කිරීමේදී ඉදිරියට ගෙනයන්න ඒ අවශ්‍ය ඉලක්ක සම්පූර්ණ කර ගන්න අපි සෑම කෙනෙක්ම අපේ වගකීම සහ යුතුකම නිසි ලෙස ඉටු කරන බව මම කලින් කිව්වා වගේ ඔබ සෑම කෙනෙක් කෙරෙහිම විශ්වාසයක් තබනවා.
 
 
මේ වැඩසටහන අද මූලික වශයෙන් හඳුන්වා දෙනවා වගේම ලබන මාසයේ සිට සෑම දිස්ත්‍රික්කයකටම පැමිණෙන්න මම බලාපොරොත්තු වෙනවා. සෑම දිස්ත්‍රික්කයකටම පැමිණිලා මේ වැඩසටහනේ ආරම්භක අවස්ථාවන්, තිබෙන තත්ත්වයන් පිළිබඳව සමාලෝචනය කරලා දිස්ත්‍රික්ක වශයෙන්, ප්‍රාදේශීය වශයෙන්, කටයුතු කරන දේශපාලන නායකත්වයන් සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන් ක්ෂේත්‍ර නිලධාරීන් සමග මේ වැඩසටහන සාර්ථක කර ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළ ශක්තිමත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපිට අපේ රට වශයෙන් මෙවැනි කටයුතු ක්‍රියාත්මක කිරීමේදී අපේ කලාපය තුළ තිබෙන ළඟ තිබෙන රටවල් වල මෑත භාගයේ විශාල දියුණුවක් ලබා ඇති බව තායිලන්තය, මැලේෂියාව, ඉන්දුනීසියාව වැනි රටවල්වලට ගියාම අපි දකිනවා. සරත් අමුණුගම මැතිතුමා දේශීය කර්මාන්ත පිළිබඳව කතා කළා. ප්‍රධාන වශයෙන්ම දේශීය කර්මාන්ත තුළ ග්‍රාමීය කර්මාන්ත තුළ මූලික වශයෙන් ඒ රටවල්වල ආදායම් තත්ත්වයන් වැඩිවීම, අපනයනය පිළිබඳව ඇති වෙලා තිබෙන වර්ධනයන්, විදේශ වත්කම් ඉහළ යාම මේ කියන කරුණු ගත්විට බොහෝ දේවල් අපේ කාලපය තුළ තිඛෙන අසල්වැසි මිත්‍ර රටවල් වලිනුත් ලබා ගන්න පුළුවන් බොහෝ ආදර්ශයන් අපිට තිබෙනවා.
 
 
දැන් මාසයකට කලින් අපි තිරසර සංවර්ධනයත් සමග මේ වර්ෂයේ කෘෂිකාර්මික ජාතික වැඩසටහනේ ප්‍රදර්ශනය මේ ස්ථානයේම පැවැත්වුවා. ඒ වැඩසටහනේදි ප්‍රදර්ශනයේදි එක් එක් පළාත්වලින් දිස්ත්‍රික්කවලින් පැමිණ සිටිය මූලික වශයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල සුළු කර්මාන්තවල යෙදී සිටින සුළු ව්‍යාපාරිකයින්, කුඩා ව්‍යවසායකයින් ඒ අයගේ බොහෝ නිෂ්පාදන ප්‍රදර්ශනය කොට තිබුණා. මට මතකයි එක් තැනක කාන්තා සංවිධානයක් විසින් සකස් කරපු කාන්තාවන්ගේ ඉතාමත් අලංකාර අත්බෑග් තිබුණා. විදේශ වෙළෙඳපොළට සුදුසු තත්ත්වයක තිබුණා. මම ඒ අය එක්ක කතා කරලා ඇහුවා දැන් කොහොමද මේ පිළිබඳව තිබෙන වෙළෙඳපොළට යැවීම මොන විදියට ද කෙරෙන්නේ කියලා. අපිට ඒ සඳහා අවශ්‍ය මගපෙන්වීමක් නැහැ. තවම ඒ තත්ත්වයට අපිිට පත්වෙන්න නොහැකි වුණා කියලා කිව්වා. එතකොට එවැනි අංශ ගණනාවක් අපි ගත්තොත් ඒ හැකියාව, දක්ෂතාවය, නිර්මාණශීලීභාවය, කුසලතාවය තිබෙන, ඒ හැකියාවන් තිබෙන, දැනුම තිබෙන පිරිස් මේ රටේ කාන්තාවන් තරුණයින් සහ වැඩිහිටි පිරිස් අතරේ විශාල වශයෙන් ග්‍රාමීය හා නාගරික ප්‍රදේශවල ඉන්නවා.
 
 
ඇමතිතුමා, මට ආරංචි වුණා ගිය මාසේ ඉඳලා පිටරටින් මල් ගෙන්නන්න ඕන විදියට ඕන කෙනෙකුට ඉඩ දිලයි කියලා මට දැන ගන්න ලැබුණා. මම ඊයේ මහ බැංකුවේ අධිපතිතුමා එක්කත් කතා කරන ගමන් මම මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමාටත් විශේෂයෙන්ම සඳහන් කරන්න බලාපොරොත්තු වුණා මේ පිටරටින් ගෙන් වන ආහාර සහ අනිකුත් භාණ්ඩ පිළිබඳ අපි වහාම සමීක්ෂණයක් කරලා සුදුසු දේ විතරක් අපිට ගෙන්වන්න.
 
 
මේ රටේ දේශීය මල් කර්මාන්තය තුළ විශාල පිරිසක් ඉන්නවා. දීර්ඝ කාලයක සිට සිටිනවා. ඒ අතරේ කවුරු හරි හදනවා පිටරටින් මල් ගේන්න. අපිට පිටරටින් මල් ගේන්න කිසිසේත් උවමනාවක් නැහැ. මල් වගේ දෙයක් කියන කොට සමහර වෙලාවට මේකට අනුමැතිය දුන්නයි කියලා මේකට පොඩි ගාණක් යන්නේ ඒක එච්චර දැනෙන ගාණක් නෙවෙයි කියලා කියයි. ඔය පොඩි ගණන් එකතු කරපුවහම තමයි ලොකු ගාණ හැදෙන්නේ. දැන් ගිය මාසේ මේ ස්ථානයේ තියපු අපේ කෘෂිකාර්මික ප්‍රදර්ශනයේදි මට මතකයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ කුටියක් තිබුණා. ඒ අය එතනදි ඉදිරිපත් කරලා තිබුණේ මේ රටට පිටරටින් ගෙන්වන පොඩි ළමයින් රවට්ටන ලස්සන පළතුරු වර්ග ප්ලාස්ටික් වලින් හදපු ඒකේ ඇතුළේ තිබෙන ඒකේ ජූස් එක පුරවනවා එතනින් වෛද්‍යවරුත් ඔක්කොමත් එක්ක කිව්වේ මේක කිසිම තැනක පරීක්ෂා වෙන්නේ නැහැ. මේ රබර්ද ප්ලාස්ටික්ද මොන විදිහෙද කියලා. ලස්සන මිදි වල්ලයි, දොඩම් ගෙඩියක් අඹ ගෙඩියයි කෙසෙල් ගෙඩියයි ඉතින් මේක බොහෝම ලාබෙට දෙනවා ඇති. ළමයි ගිහිල්ලා මේක කටේ තියා ගෙන උරනවා. අපේ විදේශ වත්කම් වැය යෙන දේවල් මේවා. පොඩියි තමයි. නමුත් ඔය විදියට ගත්තහම අපිට නුසුදුසු දේවල් කොච්චර අපි ගෙන්වනවද කියන කාරණයත් අපි හිතන්න ඕනෑ.
 
 
ඒ නිසා මෙවැනි “ග්‍රාම ශක්ති” වැනි ජාතික ව්‍යාපාරයක් අපි පටන් ගන්න කොට දේශීය කර්මාන්ත නැංවීම ව්‍යවසායකයින් විශේෂයෙන්ම බලාපොරොත්තු වන ග්‍රාම නිලධාරී කොට්ඨාසවල ජනතාව මේ දුගී භාවයෙන් නිදහස් වීමේ නිදහස් කර ගැනීමේ වැඩසටහනේදි මේ සියලු අංශ පුළුල්ව ඒකාබද්ධ කරන ජාතික වැඩසටහනක් අවශ්‍ය වෙනවා. එස්.බී දිසානායක ඇමතිතුමාගේ අමාත්‍යාංශය මේ කටයුතුවලට ඉතාම සමීපව මේ විෂයට අදාළව කටයුතු කරන ආයතනයක්. නමුත් මේ ග්‍රාම ශක්ති ජාතික ව්‍යාපාරය ඒ හා සම්බන්ධ වෙලා ඒ අවශ්‍ය කටයුතු කිරීම මෙහිදී ඉතා වැදගත් වෙනවා.
 
 
අපිට අපේ රටේ තිඛෙන එක් එක් අංශවල එක් එක් ක්ෂේත්‍රවල තත්ත්වයන් ගත්විට දුප්පත්කම හඳුනාගැනීම කියන කාරණාව මෙහිදී බොහෝම පැහැදිලි ලෙස විග්‍රහ කළා.
 
 
දුගී බව පිළිබඳව කතා කිරීමේදී සමාජයේ තිබෙන සියලු තත්ත්වයන් සැලකිල්ලට ගත යුතුයි. ග්‍රාම නිලධාරී වසම් තෝරා ගැනීමේදී එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකින් මුලින්ම ග්‍රාමසේවා වසම් දෙකක් මුලින්ම තෝරා ගන්නා විට මම හිතනවා මෙතන ඉන්න දිසා ලේකම්තුමන්ලා තමන්ගේ දිස්ත්‍රික්කයේ දුප්පත්කම වැඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මොනවද කියලා දන්නවා. ජාතික වශයෙන් මොන මොන ප්‍රදේශ වලද මේ තත්ත්වය තියෙන්නේ කියා අපි දන්නවා. මෙවැනි කාර්යයක් කිරීමේදී ක්ෂේත්‍රයේ සිටින ක්ෂේත්‍ර නිලධාරීන් සියලු දෙනාම මේ වැඩසටහනට එකමුතුවකින් ඒකරාශී කර ගැනීම ඉතා වැදගත්. ගමේ ආර්ථික සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, කෘෂිකර්ම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන්, ක්ෂේත්‍ර සහකාර නිලධාරීවරුන් ගණනාවක් සිටිනවා. අපි පසුගිය දිනවල කැබිනට් මණ්ඩලයේත් අමාත්‍ය මණ්ඩලයේත් සාකච්ඡා කළා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක සිටින කාර්ය මණ්ඩලය පිළිබඳව. විවිධ තනතුරු දරන සමහර අය රේඛීය අමාත්‍යාංශයට. සමහර අය පළාත් සභාවට. ඒ විදියට විශාල පිරිසක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක සේවය කරනවා. ඒ කාර්ය මණ්ඩලය, ඒ වගේම ක්ෂේත්‍රයේ ග්‍රාම නිලධාරී වසමක සේවය කරන කාර්ය මණ්ඩල මේ දෙකම ගත්විට විශාල වැඩ කොටසක් කරන්න පුළුවන්කම තියෙනවා. සමහර අංශ වලින් ඒ ඉලක්ක සහගත වැඩපිළිවෙළ කෙරෙන්නේ නැහැ. අධීක්ෂණය වෙන්නේ නැහැ. සමහර අංශවලට ලැඛෙන ප්‍රතිපාදන නිවැරදිව වැය කළාද කියන එක සොයා බැලීමක් නැහැ. සමහර නිලධාරීන් සමහර වෙලාවට සමහර කාර්යාලවලදී ඒක රේඛීය අමාත්‍යාංශයට අයිතියි කියලා නිකන් ඉන්නවා. සමහර පළාත් සභාවලට කරන දේවල් පළාත් සභාවෙන් ඒ විදියට යනවා.  තිබෙන අඩුපාඩුකම් වෙනස්කම් සකස්කරගෙන මේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම ඉතාමත් අත්‍යවශ්‍ය කාරණයක්. අපේ අතීත අත්දැකීම් සමග මේ කටයුත්ත වඩාත් සාර්ථකව කිරීමට පුළුවන් බව මා විශ්වාස කරනවා.
 
 
මේ කටයුත්ත කිරීමේදී අපේ සම්පත්, ජනතාව, රජය, පෞද්ගලික ආදී මේ සියලු දෙනා ඒකාබද්ධව මේ කටයුත්ත කිරීමේදී ඇති කරගත යුතු එකඟතාවයන් සම්පත් හුවමාරුකර ගැනීම ඉතාමත් වැදගත්. අපි වැඩි වැඩ කොටසකුත් එක්ක වැඩි කාර්යක්ෂමතාවයකින් කටයුතු කර ඉදිරියට යාමේ අවශ්‍යතාවය අපි හැම කෙනෙක්ම පිළිගන්නවා. රටක ඇති නැති පරතරය දුගී භාවය වත්පොහොසත්කම් ආදිය ගත්විට අපේ රටෙත් ලෝකයේ අනෙක් රටවල් වගේමයි.
 
 
සරත් අමුණුගම ඇමතිතුමා පැවසුවා රටක පොහොසතුන් ඉන්න ඕනෑ කියලා. රටක පොහොසතුන් සිටිය යුතුයි. නමුත් පොහොසතුන් රට පාලනය නොකළ යුතුයි කියන එකයි මගේ අදහස. මධ්‍යම පාංතිකයින් අතේ තමයි රටක පාලනය තිබිය යුත්තේ. දාර්ශනිකයන් කියන දෙයක් තමයි පොහෙසතුන් රාජ්‍ය පාලනය නොකළ යුතුයි කියන එක. තියෙන මිනිසුන්ගේ වත් පොහොසත්කම් නැති මිනිසුන් අතරේ ඛෙදීයාමත් සිදුවිය යුතුයි.
 
 
මේ වැඩසටහන ඔබට බාර කරන්නේ ඔබ කෙරෙහි දැඩි විශ්වාසයක් ඇතුවයි. වැඩපිළිවෙළ හදලා තිබෙනවා. සැලසුම් හදලා තියෙනවා. ව්‍යුහය සකස්වෙලා තියෙනවා. මුදල් වෙන්වෙලා තිබෙනවා. දැන් අවශ්‍ය වන්නේ ක්‍රියාත්මක කිරීමයි. එහි වගකීම් පැවරෙන්නේ ආයතන ප්‍රධානීන් විදියට ඔබ සියලු දෙනාටයි.
 
 
මම බලාපොරොත්තු වෙනවා සියලුම මැති ඇමතිවරු ඉදිරි සති දෙක තුන තුළ දැනුවත් කරලා අනෙක් අයගේ සහයෝගයත් අරගෙන තම තමන්ගේ දිස්ත්‍රික්ක තුළ මේ ව්‍යාපෘති සාර්ථක කරලා බලාපොරොත්තු වන ඉලක්ක සාර්ථක කර ගැනීමට එකතු වෙන්න කියලා උපදෙස් ලබාදීමට.
 
 
“ග්‍රාම ශක්ති” මේ වැඩපිළිවෙළ වඩාත් සාර්ථකව ඉදිරියට ගෙන ගොස් මේ රටේ දුගී භාවය නැතිකර තිරසර සංවර්ධන වැඩපිළිවෙළ තුළ අපි බලාපොරොත්තු වන ඉලක්ක සම්පූර්ණ කර ගැනීමට ඔබ සෑම කෙනෙකුගේම සහය ඉල්ලා සිටිනවා. මේ වැඩසටහන සකස් කිරීමේදී සරත් අමුණුගම ඇමතිතුමා ඇතුළු අමාත්‍ය අනු කාරක සභාව, විශේෂඥ මණ්ඩලය ඇතුළු කාර්ය මණ්ඩලය, ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන්ටත් ස්තූතිවන්ත වෙමින් ඔබෙන් සමුගන්නවා.
 
 
 
ස්තූතියි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.