• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

රටට අහිතකර කොන්දේසි සහිත කිසිදු ආයෝජන හෝ වෙළෙඳ ගිවිසුමකට අත්සන් නොතබන බව ජනපති පවසයි

 
HEරටට කෙතරම් ආර්ථික ප‍්‍රතිලාභ ගෙන දුන්නද, රටට අහිතකර සහ නොගැළපෙන කොන්දේසි සහිත කිසිදු ආයෝජන හෝ වෙළෙඳ ගිවිසුමකට, කිසිදු රටක් සමඟ රජය අත්සන් නොතබන බව ජනාධිපතිතුමා පවසයි.


ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ප‍්‍රගති සමාලෝචන රැස්වීමට ඊයේ (03) ජනාධිපති කාර්යාලයේ දී එක්වෙමිනි.


විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ සහ ඒ යටතේ පවතින ආයතනවල කි‍්‍රයාකාරිත්වයේ මෙතෙක් ප‍්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්විය.


ලංකා විදුලිබල මණ්ඩලයේ දිගුකාලීන ජනන සැලැස්ම පිළිබඳව මෙහිදී අවධානය යොමු වූ අතර රටේ විදුලිබල නිෂ්පාදනයේදී පරිසර සුරක්ෂිතතාවය සඳහා නිසි තැන දෙමින් ආර්ථිකය සවිමත් කිරීම සඳහා ගැළපෙන ජනන මිශ‍්‍රණයක් ඇති කිරීමේ යෝජනා පිළිබඳ අවධානය යොමු කෙරිණි.


ජාතික බලශක්ති සුරක්ෂිතතාවය තහවුරු කිරීම සඳහා ප‍්‍රායෝගිකව සංවර්ධනය කළ හැකි සියලු බලශක්ති ප‍්‍රභවයන් උපාය මාර්ගික ලෙස යොදා ගැනීම පිළිබඳව ද අවධානය යොමු විය.


මේ අනුව විදුලිබල නිෂ්පාදිතය සඳහා ඉන්ධන ප‍්‍රභවයන් වශයෙන් ස්වභාවික වායු, ගල් අඟුරු, දැවි තෙල් වැනි පොසිල ඉන්ධන මෙන්ම සුළං බලය, සූර්ය බලය, ජෛව ස්කන්ධ බලය, භූ තාපය, මුහුදු රළ හා ඝන අපද්‍රව්‍ය වැනි පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයන් ද පරමාණුක බලශක්ති ද සුදුසු පරිදි යොදා ගැනීම සඳහා වූ යෝජනා පිළිබඳ සාකච්ඡාවට බඳුන් වූහ.


පැරිස් සමුළුවේදී එකඟ වූ කාබන් විමෝචනය අඩු කිරීම සඳහා වූ යෝජනා කි‍්‍රයාත්මක කිරිමේ ප‍්‍රගතිය පිළිබඳව ද මෙහිදී විමසා බැලිනි.


විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා යන මහත්වරුන් සහ අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල ප‍්‍රධානීන් සහ නිලධාරින් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.