• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

පුස්කොළ පොත් සංරක්ෂණයට ගෙන යන වැඩපිළිවෙළ සඳහා ජනපති මහා සංඝරත්නයේ සහය ඉල්ලයි

He news 2017 05 09වසර දහස් ගණනක ශ්‍රී ලාංකීය ඉතිහාසය කියාපාන අතීත උරුමයක් මෙන්ම ජාතික සම්පතක් වූ පුස්කොළ පොත් මතු පරපුර වෙනුවෙන් සංරක්ෂණය සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට අවශ්‍ය මගපෙන්වීම සහ සහය ලබාදෙන ලෙස ජනාධිපතිතුමා සියලුම මහා සංඝරත්නයෙන් ඉල්ලයි.


ශ්‍රී දළදා සමිඳුන් වැඩ හිඳින පූණ්‍යභූමියේ, අස්ගිරි මහාවිහාරීය පිරිවෙන් පරිශ‍්‍රයේ ඉදි කෙරුණු අස්ගිරි මහාසෑය චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ උත්සවය ඊයේ (08) පස්වරුවේ ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර එම උත්සවය අමතමින් ජනාධිපතිතුමා මෙම ඉල්ලීම සිදුකළේය.

විනාශ වෙමින් පවතින පුස්කොළ පොත් සංරක්ෂණය සඳහා රජය පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට සැලසුම් කර තිබෙන බව පැවසූ ජනාධිපතිතුමා ඒ සඳහා අවශ්‍ය ප‍්‍රතිපාදන සහ අනෙකුත් සම්පත් ලබාදීමට අදාළ අංශ වෙත මේ වන විටත් උපදෙස් ලබාදී තිබෙන බව ද සඳහන් කළේය.

ජාත්‍යන්තර වෙසක් සතිය මුල් කර ගනිමින් බෞද්ධ දර්ශනය ලොව පුරා ගෙන යාම සඳහා වැඩසටහන් රැසක් ඉදිරි දිනවලදී ක්‍රියාත්මක කෙරෙන බව ද පැවසූ ජනාධිපතිතුමා එම සියලු කාර්යයන් සඳහා ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ මග පෙන්වීම අපේක්ෂා කරන බව කියා සිටියේය.

මහනුවර නගරයේ උස් ස්ථානයක ඉදි වූ මෙම චෛත්‍ය රාජයාණන් වහන්සේ අඩි 145 ක් උසින් යුත් අතර, විශ්කම්භය අඩි 65 කි.

කෞතුකාගාරයක්, චිත්ත විවේකාගාරයක් සහිත විසිතුරු බෞද්ධ සිතුවම් වලින් යුතු ධාතු මන්දිරයකින් මෙම චෛත්‍ය සමන්විත ය.

දෙවන මහලේ මහා සංඝරත්නයට හා සැදැහැවත් ජනතාවට බණ භාවනා කිරීමට හැකි චිත්ත විවේකාගාරයකි. නවීන විද්‍යානුකූල භාවනා ක‍්‍රම උපයෝගි කරගනිමින් මෙම ස්ථානයේ භාවනා කටයුතු වල නිරතවීමේ පහසුකම් ඇත.

පුරා වසර හතක පමණ කාලයක් වැය කරමින් ඉදිවුණු මෙම චෙත්‍යය මෙරට අති දක්ෂ කලාකරුවන් අතින් නිම කර තිබෙන අතර අස්ගිරි මහ විහාර පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි එම කටයුතු සිදුකර තිබේ.

නිර්මාණ ශිල්පීන්ට තිළිණ ප‍්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදුකෙරිණි.

අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන මහා නායක හිමිපාණන් වහන්සේ, මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ ත්‍රෛනිකායික මහා සංඝරත්නය ද අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, එස්. බී. දිසානායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක, ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරුන් ඇතුළු ගිහි පැවිදි ආරාධිතයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.