• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජාත්‍යන්තර වෙසක් උළෙල පැවැත්වීම, සම්බුදු දහමේ ආශිර්වාදය ලැබූ පසු ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තරව හිමිකරගත් විශිෂ්ට ජයග‍්‍රහණයයි

He2017තෙවරක් සම්බුද්ධ පාද ස්පර්ශයෙන් පූජනීයත්වයට පත් අප මාතෘභූමිය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජාත්‍යන්තර වෙසක් උළෙල පැවැත්වෙන රට ලෙසින් මෙවර පිදුම් ලැබීම, අප ලද විරල භාග්‍යයක් ලෙසින් සළකන බවත්  එය සම්බුදු දහමේ ආශිර්වාදය ලැබූ පසු ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තරව හිමිකරගත් විශිෂ්ට ජයග‍්‍රහණයක් බවත් අදට (10) යෙදෙන වෙසක් මංගල්‍ය වෙනුවෙන්  නිවේදනයක් නිකුත් කරමින් අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කර සිටියි.

 


 වෙසක් පණිවුඩය


ශ‍්‍රී බුද්ධ වර්ෂ දෙදහස් පන්සිය හැට එක්වැන්න එළැඹෙන්නේ ශ‍්‍රී ලාංකීය බෞද්ධ වංශකතාවේ ස්වර්ණමය පරිච්ඡේදයක සමාරම්භය සලකුණු කරමිනි.තෙවරක් සම්බුද්ධ පාද ස්පර්ශයෙන් පූජනීයත්වයට පත් අප මාතෘභූමිය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජාත්‍යන්තර වෙසක් උළෙල පැවැත්වෙන රට ලෙසින් මෙවර පිදුම් ලැබීම, අප ලද විරල භාග්‍යයක් ලෙසින් සලකමි. එය සම්බුදු දහමේ ආශිර්වාදය ලැබූ පසු ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තරව හිමිකරගත් විශිෂ්ට ජයග‍්‍රහණයක් ද වේ.



එක්සත් ජාතීන්ගේ දාහතරවන ජාත්‍යන්තර වෙසක් උළෙලෙලේ  ප‍්‍රමුඛ භූමිකාව අපට පිරිනැමීම තුළ  අප මෑත අවධියේ දිනාගත් සියලූ ජයග‍්‍රහණයන් ද පෙළගැසී සිටින බව නිසැකය. එකී ජයග‍්‍රහණ උදෙසා සම්මාදම් වු ශ‍්‍රී ලාංකීය සමස්ත ජනතාව යුගයක් වර්ණවත් කළ පින්වතුන් ලෙසින් ඉතිහාසයට එක්වනු ඇත.


ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් උළෙලේ මෙවර ප‍්‍රමුඛ තේමාපාඨය වනුයේ ''සමාජ සාධාරණත්වය සහ තිරසර ලෝක සාමය උදෙසා බෞද්ධ ඉගැන්වීම්'' යන්නය. සමාජ සාධාරණත්වය සඳහා වන මූලික කොන්දේසිය සමානාත්මතාවයයි. බුදු සමයෙහි මූලික හරය පදනම් වන්නේ ද සමානාත්මතාවය නම් විශ්ව සාධාරණ සංකල්පය මතය. අද දවසේ ලෝකය විසින් දැඩිව අයැද සිටින සමානාත්මතාවය,සම්බුද්ධ භාෂිතයෙහි මූලික කියැවීමක් බවට පත්වූයේ වසර දෙදහස් පන්සිය හැට එකකට ඈත, බුදුරජාණන් වහන්සේ ධරමාන සමයේය. මානව පැවැත්මේ මහා පොදු සාධකය වන සාමය ගොඩනැගෙන්නේ සමානාත්මතාවය, නිරෝගීව ස්ථාපිත සමාජයක බැව් බුදුරජාණන් වහන්සේ අනුදත් සේක.



ත‍්‍රිවිධ මංගල්‍යය අතුරෙන් බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් මංගල්‍යයත් සමග ඇරඹෙන අපේ ජාතික වංශ කතාව, මෙවර ජාත්‍යන්තර වෙසක් උළෙල ශ‍්‍රී ලංකාවේ පැවැත්වීම ඔස්සේ ධරණීය අවකාශයේ නව මානයකට දිසාගත වනු ඇත. එකී අභිමානය, සමග සියලූ පටු සීමාවන් අභිබවමින් රටක් ලෙස ගෝලීය සංසදය තුළ වඩා සාඩම්බරව නැගීසිටීමට කැපවීම මෙවර අපගේ වෙසක් අදිටන බවට පත් කර ගනිමු.



සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවට ශුභ වෛශාඛ්‍ය මංගල්‍යයක් වේවා!


තෙරුවන් සරණයි !

මෛත‍්‍රීපාල සිරිසේන

2017 මැයි මස 10 වන දින

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.