• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මහනුවර ප‍්‍රකාශනයෙන් එකඟ වූ කරුණු සාක්ෂාත් කර ගැනීමට කැපවීමෙන් බොහෝ අන්තර්ජාතික ගැටලු සඳහා විසඳුම් ලබාගත හැක

He news 2017 මහනුවර ප‍්‍රකාශනයෙන් එකඟ වූ කරුණු සාක්ෂාත් කර ගැනීමට කැපවීමෙන් බොහෝ අන්තර්ජාතික ගැටලු සඳහා විසඳුම් ලබාගත හැකි බව ජනාධිපතිතුමා පවසයි.



බෞද්ධ දර්ශනය තුළ ගැටුම්වලට හා දුගී බවට විසඳුම් ලබාදී තිබෙන බවත්, මහනුවර ප‍්‍රකාශනයෙන් එකඟ වූ කරුණු සාක්ෂාත් කර ගැනීමට කැපවීමෙන් තිරසර සංවර්ධනය සහ තිරසර සාමය පිළිබඳ අරමුණු ඉටුකර ගනිමින් බොහෝ අන්තර්ජාතික ගැටලු සඳහා විසඳුම් ලබාගැනීමට හැකි වන බවත් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පැවසීය.


ජනාධිපතිතුමා අවධාරණය කළේ ඒ සඳහා සියුදෙනා කැපවිය යුතු බවයි. මහනුවර ප‍්‍රකාශනයේ සඳහන් පරිදි බෞද්ධ රටවල ඒකාබද්ධ වූ වැඩසටහනක් සඳහා නායකත්වය ලබාදෙන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.


ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (14) පස්වරුවේ මහනුවර, ඓතිහාසික දළදා මාළිගාව පරිශ‍්‍රයේ පැවති එක්සත් ජාතින්ගේ 14 වැනි ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උළෙලේ සමාප්ති උත්සවය අමතමිනි. මෙහි ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නේපාල ජනාධිපතිනි බිද්‍යා දේවි බණ්දාරි මැතිණිය එක් වූවාය.



ලොව බෞද්ධ රටවල් 72 ක පමණ විශේෂ නියෝජිතයින් මෙම උත්සවයට එක්ව සිටී අතර බෞද්ධ දර්ශනය ප‍්‍රවර්ධනය වෙනුවෙන් සහ ලොව පවතින ගැටලුවලට බෞද්ධ දර්ශනයෙන් ලබාදෙන විසඳුම් ප‍්‍රායෝගික කර ගැනීම සඳහා ජාත්‍යන්තරව ගෙන යා යුතු වැඩපිළිවෙළ ඇතුළත් යෝජනාවලිය වූ මහනුවර ප‍්‍රකාශනය එළිදැක්වීම ද මෙහිදී සිදුකෙරිණි.


ලොව පුරා වෙසෙන බෞද්ධ ජනතාව ඒකරාශි කර ගනිමින් බෞද්ධ සංවිධානයක් පිිහිටුවිමට ප‍්‍රමාදයකින් තොරව කටයුතු කිරීම, අධ්‍යාත්මික හර පද්ධතීන් යටපත් කරමින් මතුවන භෞතිකවාදය හේතුවෙන් මානව සමාජය තුළ සිදුවෙමින් පවතින බරපතළ විනාශයෙන් සහ ඉදිරියේදී ඇතිවන ව්‍යසනයන්ගෙන් සියලු සත්වයන් මෙන්ම පරිසරය ආරක්ෂා කර ගැනීම, තරුණ පරම්පරාව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමේ ප‍්‍රවණතාවය සැලකිල්ලට ගනිමින් එහි ඇති අන්තරාදායක බව සහ ප‍්‍රතිවිපාක පිළිබඳ දැනුවත් කිරීම මගින් ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම, මානවයා තුළ තිබිය යුතු සාරධර්ම සහ අධ්‍යාත්මික ගුණාංග පිරිහීමට පත්වෙමින් පවතින හෙයින් නැවත එම සාරධර්ම හා අධ්‍යාත්මික ගුණවගාවන්ගෙන් හෙබි ධාර්මික ජීවිත ගත කිරීමට මාර්ගෝපදේශන සැපයිය හැකි මාධ්‍ය ජාලයක් තුළින් බෞද්ධ දර්ශනය ප‍්‍රචලිත කිරීම, ලොව තුළ දිගුකාලීනව පවතින අන්තර් ආගමික සහජීවනය පවත්වාගෙන යාමෙහිලා පවතින ප‍්‍රමුඛ වගකීම ඉටුකිරීම ඇතුළු කරුණු 09 ක් මෙම මහනුවර ප‍්‍රකාශයට ඇතුළත්ය.


නේපාල ජනාධිපතිනි බිද්‍යා දේවි බන්දාරි මැතිණිය ද සමාප්ති උත්සවය ඇමතුවාය. නේපාල ජනාධිපතිනියගේ සම්ප‍්‍රාප්තිය සනිටුහන් කරමින් ජනාධිපතිතුමා විසින් එතුමිය වෙත සමරු තිළිණයක් පිළිගැන්වීය.


මල්වතු, අස්ගිරි උභය විහාරයීය මහානායක ස්වාමින් වහන්සේලා ප‍්‍රමුඛ ත්‍රෛනිකායික මහා සංඝරත්නය ද, කථානායක කරූ ජයසූරිය මහතා සහ මැති ඇමතිවරු ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් සහ බෞද්ධ රටවල නියෝජතයින් මෙම සමාප්ති උත්සවයට එක්ව සිටියහ.


ජාත්‍යන්තර වෙසක් උත්සවයේ සමාප්ති උළෙලේදී ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව (2017.05.14 වන දින මහනුවරදී)


ගෙවී ගිය දශක කිහිපය තුළ මේ රටේ බෞද්ධ ජනතාවට වගේම ශ‍්‍රී ලංකා ජනරජය විදියට අප සෑම කෙනෙකුටම නොලැබුණු විශේෂ අවස්ථාවක් වෙනවා. නිදහසින් පසු ලෝකයේ රටවල් 72 කින් පැමිණ, එක්සත් ජාතීන්ගේ වෙසක් දිනය සමරමින්, මුළුමහත් ලෝක ප‍්‍රජාව ගරු කරන බෞද්ධ දර්ශනය වෙනුවෙන් සතියක් පුරා පැවැත්වූ අන්තර්ජාතික වැඩසටහනේ සමාප්ති උළෙල තුළයි පූජනීය මහා සංඝරත්නය සමග අප මේ රැඳී සිටින්නේ.


එක්සත් ජාතීන්ගේ වෙසක් දිනය මුල් කරගෙන මේ පුළුල් ජාතික සහ අන්තර්ජාතික වැඩසටහන ක‍්‍රියාත්මක කිරීමට අපිට භාග්‍ය ලැබුණා. මුළුමහත් ලෝකයේ බෞද්ධ රටවල බෞද්ධ නායකයින්, ඒවගේම ගෞරවනීය බෞද්ධ භික්ෂූන් වහන්සේලා, ගෞරවනීය මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා අපේ රටට වැඩම කරවමින් අපිට මෙවැනි ඉතාමත් උතුම් පුණ්‍ය කටයුත්තක් කිරීමට මේ කාලය තුළ ලැබීම අප කාගේත් ඉමහත් භාග්‍යයක් සහ වාසනාවක් ලෙස සලකනවා.


රටවල් 72 ක බෞද්ධ නායකයින් පැමිණීම අප රටට කරන ලද විශාල ගෞරවයක් ලෙස මා සිතනවා. ඉන්දීය අග‍්‍රමාත්‍යතුමාගේ පැමිණීමත්, නේපාල ජනාධිපතිතුමියගේ පැමිණීමත් ඒවගේම රටවල් 72 ක මැති ඇමතිවරු, විශේෂ නියෝජිතයින්, ගෞරවනීය පූජනීය මහා සංඝරත්නය ඒ ඒ රටවල්වල ජාතික හා ජාත්‍යන්තර බෞද්ධ සංවිධාන ඒ සියල්ල සහභාගි කර ගනිමින් තමයි මේ මහා උතුම් පුණ්‍ය කටයුත්ත අපිට සාර්ථකව ඉටු කිරීමට පුළුවන්කම ලැබුණේ.
මැයි මාසේ 07 වෙනිදා සිට 13 වෙනිදා දක්වා දවස් හත තුළ විශේෂයෙන්ම බෞද්ධ දර්ශනය තුළ සතියක් පුරා මේ පුළුල් ජාතික සහ ජාත්‍යන්තර වැඩසටහන් ක‍්‍රියාත්මක වුණේ, බෞද්ධ දර්ශනය පිළිබඳව සාකච්ඡා, සම්මන්ත‍්‍රණ, සංවාද ඒවගේම බෞද්ධ දර්ශනය ප‍්‍රචාරය කිරීම සඳහා, ප‍්‍රචලිත කිරීම සඳහා, ප‍්‍රවර්ධනය කිරීම සඳහා ගත යුතු මග, තිරසර ලෝක සාමය, තිරසර සංවර්ධනය, තිරසර සාමය තුළින් තිරසර සංවර්ධනය, තිරසර සංවර්ධනය තුළින් තිරසර සාමය මේ කියන කරුණු මුල්කර ගනිමිනුයි වැඩසටහන් සංවිධානය කොට තිබුණේ. ඒ නිසා අපේ රටේ පමණක් නොවෙයි, ලෝකය පුරා විසිරී සිටින බෞද්ධ ජනතාව වගේම බෞද්ධ නොවන ප‍්‍රජාව, බෞද්ධ නොවන ජනතාව බෞද්ධ දර්ශනය පිළිබඳව අවධානය යොමු කළ යුතු අවස්ථාවක් බවට පත් වුණා. මේ වැඩසටහන තුළින් අපි ලබා ගත් අත්දැකීම සමග විශේෂයෙන්ම ගරු විජයදාස රාජපක්ෂ අමාත්‍යතුමා බුද්ධශාසන ඇමතිවරයා විදියට අපේ රජයේ තීරණයක් සහ උපදෙස් මත, මේ වැඩසටහන සකස් කිරීම වගේම පැමිණි රටවල් 72 ක නියෝජිතයින්ගේ එකඟත්වයෙන් ඉදිරි බෞද්ධාගමික වැඩකටයුතු සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් ගෙන යුතු වැඩපිළිවෙළ පිළිබඳව ප‍්‍රකාශනයක් මහනුවර ප‍්‍රකාශනය නමින් නිකුත් කිරීමට ලැබීම ඉමහත් භාග්‍යක් කියා මා විශ්වාස කරනවා.



අද ලෝකය පුරා සෑමතැනම පවතින්නේ ගැටුම් බව අපි දන්නවා. බෞද්ධ දර්ශනය තුළින් ගැටුම්වලට විසඳුම්, දුගීභාවයට විසඳුම් තිබෙන බව අපි දන්නවා. අද සමාජය ගත්තත් පවුල් සංස්ථාව ගත්තොත් ගෙදරක මව සහ පියා අතරේ ගැටුම්. පවුලේ සහෝදර සහෝදරියන් අතරේ ගැටුම්. පවුල් සංස්ථාව තුළ ගැටුම්. කාර්යාලය තුළ ගැටුම්. බස් නැවතුම්පොළ තුළ ගැටුම්. අද ගැටුමක් නොමැති තැනක් නැහැ . සෑම රටකම විවිධ ආකාරයේ ගැටුම්. ජාත්‍යන්තර වශයෙන් ගැටුම්. අද උතුරු කොරියාව සහ දකුණු කොරියාව ඉතාමත් තීරණාත්මක තැනක සිටිනවා. මුළු ලෝකයේම අවධානය යොමු වී තිබෙනවා. ඒ නිසා අපිට ථේරවාදී බෞද්ධ දර්ශනය මුල්කර ගනිමින් මුළු ලෝකයේ සිටින සියලූම බෞද්ධ ජනතාව එක් වූ ජාත්‍යන්තර සංවිධානයක් ඇති කිරීම බිහි කිරීම තුළ ලෝකයේ විසිරී සිටින සෑම බෞද්ධයෙක්ම ජාත්‍යන්තර වශයෙන් එක සංවිධානයක් යටතට මේ මහනුවර ප‍්‍රකාශනය මගින් පත් කර ගැනීමට ලැබීම මා සිතනවා අපිට බෞද්ධයින් විදියට ඉමහත් වූ සතුටට කාරණයක් කියලා. ඒ නිසා අපි රජයක් විදියට වගේම බෞද්ධ ජනතාව විදියට බෞද්ධ සංවිධාන විදියට පූජනීය මහා සංඝරත්නයේ අනුශාසනා තුළ මේ කෙරෙන්නා වූ කාර්යයන්ගේ මානව සමාජයේ යහපත් කිරීම සඳහා බොහෝ ප‍්‍රතිඵල ලබා ගත හැකි යැයි කියා මා විශ්වාස කරනවා. අපේ රටේ වගේම ලෝකයේ තිබෙන දුගීකම පිළිබඳව, දුප්පත්කම පිළිබඳව බෞද්ධ දර්ශනයේ ඉගැන්වීම්, බෞද්ධ ආර්ථිකය ඉතාමත් පුළුල් දැක්මක් සහතිව ප‍්‍රායෝගිකව සමාජය තුළ ක‍්‍රියාත්මක කිරීමට අප සියලුදෙනා කැපවන්නේ නම්, දුගීභාවයට ඒ තුළ තිබෙන්නාවූ විසඳුම් මුළු මහත් සමාජය, මානව ප‍්‍රජාව ජයග‍්‍රහණය කරවීමේ විශිෂ්ට අවස්ථාවක් විදියටයි අපි දකින්නේ. අපි දන්නවා දුප්පත්කම පිළිබඳව කතා කිරීමේදී මත්ද්‍රව්‍ය, අරක්කු, සිගරට්, අනිකුත් මත් පෙති, මත් කුඩු මේවා වැඩිපුර පාවිච්චි කරන්නේ දුප්පත් ජනතාව. සමාජ සමීක්ෂණ වාර්තා කියනවා අපේ රටේ දුප්පත්කම වැඩිවීමට ප‍්‍රධාන හේතුව මත්ද්‍රව්‍ය භාවිතය කියන එක. අසල්වැසි කලාපීය රටවල්වල තත්ත්වය ගත්තත් එයයි. ලෝකයේ දුප්පත්කම තිබෙන බොහෝ රටවල්වල, අඩු ආදායම්ලාභීන් සිටින රටවල්වල එයට ප‍්‍රධාන හේතුව මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම තුළ ඇතිවන ප‍්‍රතිඵලයක් කියන එක අපි සෑම කෙනෙක්ම දන්නවා.
ඒ නිසා මේ ජාතික සහ අන්තර්ජාතික වැඩපිළිවෙළේ මහනුවර ප‍්‍රකාශනයෙන් දෙනු ලබන කරුණු පදනම් කර ගනිමින් තිරසර සංවර්ධනය තිරසර සාමය – තිරසර සාමය තුළ තිරසර සංවර්ධනය කියන තේමාව මුල් කර ගනිමින් අපිට ජාතික වශයෙන් වගේම අන්තර්ජාතික වශයෙන් සමාජය තුළ තිබෙන්නා වූ බොහෝ ගැටලු නිරාකරණය කර ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය වන්නේ, අපේ කැපවීමයි. මේ ප‍්‍රකාශනය තුළින් බලාපොරොත්තු වන කරුණු අනාගතයේ ඉෂ්ට කර ගැනීම සඳහා, ඒ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා අප සෑමකෙනෙක්ම කැප විය යුතු වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ශ‍්‍රී ලංකා රජය විදියට ප‍්‍රධාන වශයෙන්ම ගෞරවනීය මහා සංඝරත්නයේ අනුශාසනා පරිදි, මේ මහනුවර ප‍්‍රකාශනයෙන් එළිදක්වන කරුණු මත අන්තර්ජාතික වශයෙන් සියලු බෞද්ධ ජනතාවත්, බෞද්ධ සංවිධානත්, බෞද්ධ රටවලුත් ඒකාබද්ධ වූ පුළුල් ජාත්‍යන්තර වැඩපිළිවෙළක් සඳහා අප විසින් මූලිකත්වය, වගකීම සහ නායකත්වය දීමට අපි ක‍්‍රියා කරන බව මෙහිදී විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනෑ.


අද දවසේ මා ඉතාමත් සතුටු වෙනවා මේ උතුම් පුණ්‍ය කටයුත්තට අප සෑම කෙනෙකම එක් වෙලා මුළුමහත් මානව ප‍්‍රජාව වෙනුවෙන් මෙවැනි උතුම් කාර්යයක් ඉටු කිරීමට ලැබීම ගැන. අපේ මේ වැඩසටහන වඩාත් සාර්ථක කරන්නට අපිට හැකියාව ලැබුණේ අපේ ගෞරවනීය මහා නායක ස්වාමීන් වහන්සේලා ප‍්‍රමුඛ පූජනීය මහා සංඝරත්නයෙන් ලැබුණ උපදෙස්, අනුශාසනා සහ මගපෙන්වීම් නිසයි. ඒවගේම ජාත්‍යන්තර වශයෙන් බෞද්ධ රටවල්වල නායකයින්, නියෝජිතයින් අපේ රටට ගෙන්වා ගැනීම සඳහා අපි කරන ලද ආරාධනය පිළිඅරගෙන ඒ පැමිණි ඉන්දීය අග‍්‍රමාත්‍යතුමා, නේපාල ජනාධිපතිතුමිය ඇතුළු ඒ රාජ්‍ය නායකයින්ටත්, පැමිණි සියලු මැතිඇමතිවරු, රාජ්‍ය තාන්ත‍්‍රිකයින්, බෞද්ධ සංවිධාන, බෞද්ධ නායකයින්, නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු පැමිණි නියෝජිතයින් ඒ සෑම කෙනෙකුටම මම ශ‍්‍රී ලංකා ජනරජය වෙනුවෙන් මගේ ගෞරවනීය ස්තූතිය මා පුද කරනවා.



ඒ වගේම මේ වැඩකටයුතු සාර්ථක කිරීමේදී විශේෂයෙන්ම බුද්ධශාසන සහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මැතිතුමා, එතුමාගේ අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු කොමසාරිස්, ලේකම්වරයා, ඒ කාර්යය මණ්ඩල, සංස්කෘතික අමාත්‍යාංශය, ඒවගේම අනිකුත් රජයේ ආයතන, ත‍්‍රිවිධ හමුදාව, පොලීසිය, අපේ රටේ බෞද්ධ සංවිධාන, ඒ සියල්ලම විශාල කැපවීමකින් කටයුතු කරනු ලැබුවා. ඒ නිසා විජයදාස රාජපක්ෂ ඇමතිතුමා ඇතුළු ඒ සියලු මැති ඇමතිතුමාලටත්, සියලු සංවිධානවලටත් ඒ සෑම කෙනෙකුටම  මේ උතුම් කාර්යය සර්ථක කර ගැනීම සඳහා විශාල කැපීමක් කරමින් වෙහෙස මහන්සිවීම පිළිබඳව මම රජය වෙනුවෙන් සහ ජනතාව වෙනුවෙන් මගේ ගෞරවනීය ස්තූතිය පුද කරනවා. අපි සෑම කෙනකුගේම අනාගතය වඩාත් යහපත් කරන්න, දීප්තිමත් කරන්න අප විසින් බලාපොරොත්තු වන පුළුල් බෞද්ධාගමික අරමුණු ඉටු කිරීමට අප සෑම කෙනෙක්ම කැපවෙමුයි කියන ගෞරවනීය ආයාචනය කරමින් ඔබ සියලුදෙනාට තෙරුවන් සරණ පතමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.