• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මාදුරු ඔය දකුණු ඉවුරේ සංවර්ධන කටයුතු මෙම වසරේදී

He news 2017 5 16රටේ වාරි සහ කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ සංවර්ධනය උදෙසා දැවැන්ත ව්‍යාපෘති රැසක් රජය මේ වන විට කි‍්‍රයාවට නංවා තිබෙන බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා තවත් විශාල වාරි ව්‍යාපෘතියක් වූ මාදුරුඔය දකුණු ඉවුරේ සංවර්ධන කටයුතු මෙම වසරේදී ආරම්භ කරන බව ප‍්‍රකාශ කළේය.


එමෙන්ම අනුරාධපුර, පොළොන්නරුව කුරුණෑගල සහ තී‍්‍රකුණාමල දිස්ති‍්‍රක්කවල පැරණි වැව් 600 ක් ප‍්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ද ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව මෙම වසරේදී කි‍්‍රයාවට නංවන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.


ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව සඳහන් කළේ ඊයේ (15) පෙරවරුවේ අරලගංවිල විලයාය මහා විද්‍යාලයේ පැවති මහවැලි ඉඩම් ඔප්පු ලක්ෂයක් පිරිනැමීමේ සහ ජීවනෝපාය සංවර්ධන වැඩසටහන අමතමිනි.


රජ රට ජනතාවගේ දීර්ඝකාලීන ඉල්ලීමක් වූ මොරගහකන්ද ව්‍යාපෘතිය තුළින් එම ජනතාවගේ ජල ගැටලුවට අද විසඳුම් ලැබෙමින් පවතින බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා ඉදිරි මහ කන්නයේ දී ජලාශය සම්පූර්ණයෙන් ජලයෙන් පිරවීමෙන් පසු යළිත් ජල අර්බුදයකට මුහුණ දීමට රජ රට ජනතාවට සිදු නොවනු ඇති බව ද කියා සිටියේය.


පසුගිය රජය සංදර්ශනාත්මක සංවර්ධනයක් රටට පෙන්වා මහා සංවර්ධනයක් ගැන කථා කළද ඒ තුළ තිබූ ණය බර අද රටක් ලෙස ඉදිරියට යාමේදී මතුව ඇති බරපතළම ගැටලුවක් බවට පත්ව ඇති බව ද ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.

විදේශීය ණය බරින් රට නිදහස් කර ගනිමින්, රට සංවර්ධනය කරා ගෙනයාමට අද රජය පුළුල් සංවර්ධන වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නංවා ඇති බව සඳහන් කළ ජනාධිපතිතුමා කුමන අභියෝග හමුවේ වුවද එම වැඩපිළිවෙළ ශක්තිමත්ව සහ වේගවත්ව ඉදිරියට ගෙන යමින් ජනතාවට අවශ්‍ය ආර්ථික සංවර්ධනය උදා කර දෙන බව ද කියා සිටියේය.


ආණ්ඩුව දුර්වල බව පවසමින් ආණ්ඩු පිහිටුවීමට අද ඇතැමුන් සිහින දකිමින් සිටින බවද මෙහිදී පැවසූ ජනාධිපතිතුමා පසුගියදා ගෝල්ෆේස් පිටියේ පැවති මැයි දින රැළියෙන් පසු ආණ්ඩු පිහිටුවීමට ඇතැමුන් සිහින දුටුවත්, පිට්ටනියකට බස්වලින් ගෙන ආ ජනතාව අනුව ආණ්ඩු හැදීමට සිහින දකිනවා නම් එය විහිළුවට කරුණක් බව ද කියා සිටියේය.


ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා දිවයිනට පැමිණෙන විට කළු කොඩි ඔසවන්නැයි පැවසූ ඇතැමුන් මහා රාති‍්‍රයේ ගොස් එතුමා හමු වූ බව තමාට දැන ගන්නට ලැබුණු බව ද ජනාධිපතිතුමා පැවසීය.


මහවැලි ජනපදිකයින්ගේ උපන් බිමේ උරුමය තහවුරු කරමින් ඉඩම් ඔප්පු ලක්ෂයක් පිරිනැමීමේ වැඩසටහන යටතේ මහවැලි බී සහ සී කලාපවල ජනපදිකයින්ට ඉඩම් ඔප්පු දස දහසක් ප‍්‍රදානය කිරීම අද ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරිණි.


2017 ජිවනෝපාය සංවර්ධන වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක් ආවරණය කරමින් ජීවනෝපාය මාර්ග සංවර්ධන වැඩසටහන් සඳහා අවශ්‍ය උපකරණ බෙදා දීමද මෙහිදී සිදු කෙරිණි.


පාසල් සහ විහාරස්ථාන සඳහා ප‍්‍රතිආශ‍්‍රැතකරණ ජල පෙරණ පද්ධති සහ ජල ටැංකි බෙදාදීම ද සිදු කෙරිණි.


මහා සංඝරත්නය ප‍්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන් ද, ඌව පළාත් ආණ්ඩුකාර එම්.පී. ජයසිංහ, අමාත්‍ය දයා ගමගේ, උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, නියෝජ්‍ය ඇමතිනි සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ, හිටපු අමාත්‍ය පී. දයාරත්න, උතුරු මැද පළාත් සභාවේ සම්පත් ශී‍්‍ර නිශ්ශංක යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද, මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, පොළොන්නරුව දිස්ති‍්‍රක් ලේකම් ඇතුළු රාජ්‍ය නිළධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


අරලගංවිල විලයාය මහා විද්‍යාලයේ පැවති මහවැලි ඉඩම් ඔප්පු පිරිනැමීමේ සහ ජීවනෝපාය සංවර්ධන වැඩසටහන අමතා ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව (2017-05-15)


මහවැලි බී කලාපය සහ සී කලාපය පවුල් දහදාස් අසූ දෙකක් පදිංචි වී සිටින තමුන්නාන්සේලාගේ භූමිය, ඒ භූමිය වෙනුවෙන් ඔප්පු දීමනා පත‍්‍ර ලබා දීම සඳහා තමුන්නාන්සේලා සමග එක්වීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. මෙම කටයුතු සංවිධාන කිරීමේදී ශ‍්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්තුමා ප‍්‍රමුඛ කර්ය මණ්ඩලයත් නේවාසික ව්‍යාපාර කළමනාකාරවරුන් සහ ඉඩම් ක්ෂේත‍්‍රයේ කටයුතු කරන සියලුම නිලධාරීන්ගේ කැපවීම මා ඉතාමත් අගය කරනවා.


මහවැලි බී. කලාපයේ සහ සී කලාපයේ ජීවත් වන තමුන්නාන්සේලා මා දන්නා පරිදි සතුටින් නොවේ ඉන්නේ. එයට හේතුවක් තිබෙනවා. තමුන්නාන්සේලාගේ ඉඩමේ අයිතය පිළිබඳව දීමනා පත‍්‍රය ලබාගත්තත් මේ කන්නයේදී තමුන්නාන්සේලාගේ කුඹුරු වල වැඩ කරලා තිබෙන්නේ 50% ක ප‍්‍රමාණයක්. තමුන්නාන්සේලාගේ කුඹුරු වල රන්වන් කරළින් බරවෙලා තිබෙනවා දැක්කොත් පමණයි තමුන්නාන්සේලාට සතුටක් තිබෙන්නේ. පසුගිය අවුරුද්දේ නොවැම්බර් දෙසැම්බර් මාස වල ඇති වූ නියගය සමග අපි බලාපොරොත්තු වූ වර්ෂාව නොලැබුණු නිසා මහවැලි ඉහළ ජලාශවල පමණක් නොවේ, ලංකාවේ වාරී මාර්ග දෙපාර්තමේන්තුවට අයත් අනෙකුත් ජලාශ වලත් බරපතළ ජග හිඟයක් ඇති වුණා. මම දැන් එනවිටත් බලාගෙන ආවා මොරගහකන්ද ජලාශය 25% කින් පමණ ජලයෙන් පිරී තිබෙනවා.


කොත්මලේ, රන්දෙණිගල, වික්ටෝරියා, රන්ටැඹේ ජලාශ වල මේ වනවිට තත්ත්වය බැලුවා. කොත්මලේ 33% ක් ජලය තිබෙනවා. රන්දෙණිගල, වික්ටෝරියා, රන්ටැඹේ ගත්විට 30% ක් 31% ක් වගේ ප‍්‍රමාණයක්. සති දෙක තුනකට පෙර බී කලාපයේ ගොවි මහත්වරු පිරිසක් මනම්පිටියේ පාර හරස් කොට විරෝධතාවයක් පළ කොට ජලය ඉල්ලුවා. මම දන්නේ නැහැ එය සංවිධානය කළේ කවුද කියා. ඉතාම පැහැදිලව කියන්නට ඕන ජලාශ වල ජලය තිබෙනවා නම්, ඉංජිනේරු මහත්වරු කිසිවිටකත් ජලය නිකුත් නොකර ඉන්නේ නැහැ.


කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජලයත් විදුලිබලයට අවශ්‍ය ජලයත් කළමනාකරණය කරමින් පාලනය කරමින් වාරී ඉංජිනේරුවරු සහ විදුලිබල ඉංජිනේරුවරු සියලුම දෙනාම කටයුතු කරනවා. රජය විදියටත් මම මහවැලි විෂයභාර ඇමතිවරයා විදියටත් මේ ආදරනීය ජනතාව බඩගින්නේ තියන්න, දුප්පත්කම වැඩි කරන්න ඔබේ ජීවන අසීරුතා වැඩි කරන්න කිසිවිටකත් අපි එවැනි අයහපත් සිතුවිල්ලකින් කටයුතු කරන්නේ නැහැ. නමුත් ස්වාභාවිකව ඇති වූ පාරිසරික තත්ත්වයක් මුල් කරගෙන වර්ෂාව නොලැබුණු නිසා විශාල ජල හිඟයකට තමුන්නාන්සේලා අපි මුහුණ දුන්නා.


අපේ රටේ පමණක් නොවේ අපේ අසල්වැසි රට ඉන්දියාවේ ඉතා අධික උස්ණත්වය නිසා සමහර ප‍්‍රදේශ වල මිනිසුන් මැරෙනවා. දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රදේශය බරපතළ ජල හිඟයකට මුහුණ දී තිබෙනවා බීමට පවා වතුර නොමැතිව. ගෝලීය උණුසුම සමග ඇතිවන පාරසරික වෙනස්කම් නිසා මේ තත්ත්වය මුහුණදී තිබෙන්නේ අපේ රට පමණක් නොවේ මේ කලාපය තුළ බොහෝ රටවල් ජල අර්බූදයට මුහුණ දී තිබෙනවා. මේ තුළ මහවැලි බී කලාපයේ සහ සී කලාපයේ ජනතාවට ඇති කුඹුරු වලින් භාගයක් කිරීමටයි ජලය දීමේ හැකියාව තිබෙන්නේ. මේ කලාප දෙකේම නේවාසික ව්‍යාපාර කළමනාකාරතුමන්ලාගෙන් ඇහුවා 50% ක් කුඹුරු කිරීමට දී තිබෙන විට අනෙක් 50% ක ගොවිමහත්වරුන්ට මොනවා කරන්නද උපදෙස් දී තිබෙන්නේ කියා. ඔවුන් දෙදෙනාගෙන් ලැබුණු පිළිතුරු පිළිබඳව මම සතුටට පත්වන්නේ නැහැ. මම අවශ්‍ය උපදෙස් දෙන්නම් මුදල් දෙන්නම් වහාම ගොවිමහත්වරුන්ට ඉතිරි කුඹුරු නොකරපු භූමි වල අතිරේක බෝග වගා කිරීම සඳහා අවශ්‍ය බීජ නොමිලේ ලබා දෙන්න අනෙකුත් අවශ්‍ය පහසුකම් සඳහා රජයෙන් මුදල් ලබා දී හෙට සිට එම භූමිය සංවර්ධනය කරන්න, මම උපදෙස් දුන්නා, කොට්ඨාස කළමනාකාරවරුන් කෘෂිකර්ම නිලධාරීන් ඇතුළු සියලු දෙනාගෙන් මම ඉල්ලා සිටිනවා හෙට සිට මෙම වැඩසටහන කාර්යක්ෂමව ඉටුකිරීමට අවශ්‍යදේ, මේ ආදරනීය ගොවිජනතාවගේ ආර්ථිකය ගොඩනගන්න ඉතා කඩිනමින් මේ වැඩසටහන ක‍්‍රියාත්මක කරන්න කියා.


අපි රජයක් විදියට කටයුතු කරන විට ඇතිවන ස්වාභාවධර්මයේ ප‍්‍රශ්න වලට මුහුණදීමට සිදු වෙනවා. මේ සඳහා මුහුණ දෙන්නේ අපි පමණක් නොවේ. අපි වර්තමානය රජය විදියට මහවැලි සංවර්ධන ව්‍යාපාරයත් වාරීමාර්ග දෙපාර්තමේන්තුව තුළ නව සංවර්ධන යෝජනා රාශියක් අලුතින් ආරම්භ කළා. වැඩ නැවතී තිබූ මොරගහකන්ද ජලාශයේ කටයුතු කඩිනම් කරලා එහි ජලය පිරවීමේ හැකියාව ලැබුණා. මොරගහකන්ද ජලාශය පිරීමත් සමග එහි වැඩි වාසිය සී කලාපයට සහ බී කලාපයට හිමිවෙනවා. කොත්මලේ වික්ටෝරියා ජලශ වලින් වැඩි ජල ප‍්‍රමාණයක් උතුරට යවන්නේ නැතුව නැගෙනහිර තමුන්නාන්සේලාගේ වගා සංවර්ධනය සඳහා විශේෂයෙන්ම උල්හිටිය, රත්කිද මාදුරු ඔය ජලාශ සඳහා වැඩි ජලයක් නිකුත් කිරීමේ හැකියාව තිබෙනවා. මම විශ්වාස කරනවා එන මාස් කන්නයේ තුළ මොරගහකන්ද සම්පූර්නයෙන්ම පිරුණු පසුව තමුන්නාන්සේලාට මෙවැනි අර්බූදයකට මුහුණ දෙන්න සිදුවෙන්නේ නැහැ. අපිට ජල ප‍්‍රශ්නය විසදාගැනීමේ හැකියාව තිබෙනවා. අනුරාධපුරය, පොළොන්නරුව, ත‍්‍රිකුණාමලය, වව්නියාව, කිලිනොච්චි ප‍්‍රදේශ පුත්තලම් දිස්ත‍්‍රික්කය ගත්විට දීර්ඝ කාලයක් තිස්සේ තිබෙන ජල හිඟය ඉවත් කොට පානීය ජල ප‍්‍රශ්නය විසදන්න මොරගහකන්ද කළු ගඟ ජලාශය ප‍්‍රමුඛත්වය ගන්නවා. මොරගහකන්ද කළු ගඟ ජලාශයයි මේ වන විට ඉදිවී තිබෙන ලංකාවේ විශාලතම ජලාශය වන්නේ. කළු ගඟෙන් මොරගහකන්දට ජලය ගෙනඑන උමං ගෙය කිලෝ මීටර් 22 ක් පමණ වෙනවා. ක්වේට් රාජයෙන් අපිට මුදල් ලැබුණා එහි ඉදිකිරීම් කටයුතු සඳහා. පොළොන්නරුව, අනුරාධපුර, ත‍්‍රිකුණාමලය වැනි දිස්ත‍්‍රික්ක වල පැරණි වැව් හයසීයකට වැඩි ප‍්‍රමාණයක් ප‍්‍රතිසංස්කරණය කරන්න මුදල් දී මේ වන විට අවශ්‍ය ටේන්ඩර් කැඳවීම් කරගෙන යනවා. මේ අවුරුද්දේ වැව් විශාල සංඛ්‍යාවක වැඩ කටයුතු කරගෙන යනවා. මහවැලි බී සහ සී කලාපයේ වාරී ප‍්‍රතිසංස්කරණ කටයුතු වැව් අමුණු ප‍්‍රතිසංස්කරණය කරන්න පේශල ජයරත්න ඇමතිතුමා කියූ පරිදි අධ්‍යාපන, සෞඛ්‍ය ක්ෂේත‍්‍ර වලට අවශ්‍ය සම්පත් වැඩි දියුණු කරන්න රෝහල් සංවර්ධන පාසල් සංවර්ධනය පානීය ජල විශාල ව්‍යාපෘති රාශියක් මේ වන විට ක‍්‍රියාත්මක වෙනවා. අපි මේ අවුරුද්දේ මාදුරු ඔය දකුණු ඉවුර ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා.


මාදුරු ඔය දකුණු ඉවුර පිළිබඳව ඔබ දන්නවා. එයින් වැඩි වාසියක් තිබෙන්නේ අම්පාර, මඩකලපුව දිස්ත‍්‍රික්ක වලටයි. චීන රජය යටතේ මාදුරු ඔය දකුණු ඉවුරට මුදල් අනුමත වී තිබෙනවා. රටේ කෘෂි ආර්ථකය ශක්තිමත් කිරීම සඳහා ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරමින් නව ව්‍යාපෘති රාශියක් මේ වසරේ සිට ක‍්‍රියාත්මක වෙනවා. නව රජය විදියට අපි තිබෙන විදේශීය සම්බන්ධතා තුළ අතිවිශාල මුදල් සම්භාරයක් මේ කටයුතු සඳහා ලබා ගන්න අපිට හැකිවුණා. ආසියානු සංවර්ධන බැංකුව ලෝක බැංකුව අනෙකුත් මිත‍්‍ර රටවල් වලින් ලබා ගන්නා මුදල් මේ සියල්ල සමග පුළුල් සංවර්ධන කාර්යයන් රාශියක් අපි ඉටුකරමින් යනවා.


තමුන්නාන්සේලාගේ කුඹුරු වලින් 50% ක් කිරීම නිසා ඉතිරි ප‍්‍රමාණයට අවශ්‍ය ජල ප‍්‍රමාණය නොමැති නිසා තමුන්නාන්සේලාගේ සිත් තැවුල්, වේදනාව, පසුබෑම දුක මම ඉතා පැහැදිලිව තේරුම් ගත් කෙනෙක්. එම අත්දැකීම මම විඳලා තිබෙන කෙනෙක්. රජයක් විදියට කළ යුතු සෑම වගකීමක් සහ යුතුකමක්ම මේ ආදරනීය ගොවිජනතාව වෙනුවෙන් අපි ඉටුකරනවා. දේශීය කෘෂිකර්මය සංවර්ධනය කරගැනීම වගේම දයා ගමගේ ඇමතිතුමා පැවසුවා වගේ විදේශ වෙළෙඳපොළට අවශ්‍ය නිෂ්පාදන සකස්කිරීමේදී ගොවි ආර්ථිකය මුල්කරගත් ප‍්‍රධාන ව්‍යෘපෘති රාශියක් සඳහා අපි සැලසුම් සකස්කර මුදල් වෙන්කර තිබෙනවා. එතුමාගේ අමාත්‍යාංශයෙන් මුදල් ලැබෙනවා. අනෙකුත් අමාත්‍යාංශවලින් මුදල් ලැබෙනවා. තරුණ පිරිස් වලට ස්වයං රැකියා කරන්න පුළුවන් ව්‍යාපෘති සම්බන්ධයෙන් ඇතැම් ප‍්‍රාදේ්ශීය ලේකම්තුමන්ලා මුදල් ලබාදීමේ කටයුතු අද කරනවා. අදත් අපි පිරිසකට මේ ස්ථානයේ මුදල් ලබා දෙනවා. ඒ කටයුතු කිරීමේදී කිසිඳු දේශපාලන පක්ෂ භේදයකින් තොරව දක්ෂකම, හැකියාව තිබෙන තරුණ පිරිස් වලට අපි ප‍්‍රමුඛත්වය දෙනවා.


ගං වල සුළු කර්මාන්ත ආරම්භ කරන්න, කාර්මික නිෂ්පාදන කරන්න අපි ප‍්‍රදේශීය ලේකම්තුමාලාට උපදෙස් දුන්නා පළාත් සභාවේ ඉන්න නිලධාරී මහත්වරුත් සමග පළාත් සභාව ඒකාබද්ධව මේ ව්‍යාපෘති සම්බන්ධයෙන් අවශ්‍ය පිරිස් තෝරන්න. ඒ අනුව මගේ මතකයේ හැටියට මේ වසරේ පොළොන්නරුව දිස්ත‍්‍රික්කයට මිලියන 1000 ක් පමණ වෙන්කර තිබෙනවා. අනෙක් දිස්ත‍්‍රික්ක වලට වෙන්කළ මුදල් සංඛ්‍යාව පිළිබඳව මට මතකය අඩුයි.

අපේ ආර්ථික තත්ත්වය වර්ධනය කර ගන්න, කෘෂිකර්මාන්තයට ප‍්‍රමුඛත්වය දෙන්න, දක්ෂතාව, නිර්මාණශීලීබව, උගත්කම අනෙක් සෑම කෙනෙකුටම අවශ්‍ය සම්පත් ලබා දෙන්න අපි රජයක් විදියට සැලසුම් කරලා ඒ කටයුතු ක‍්‍රියාත්මක කරන අවස්ථාවක්. අද දවසේ මා වඩාත් සතුටු වෙන්නේ මේ ගොවි ජනතාව වෙනුවෙන් අඩුපාඩුකම් සම්පූර්ණකරනවා වගේම අපි ලබාගෙන ඇති ජාත්‍යන්තර හොඳ හිත තුළ අපිට අද රටක් විදියට ඉදිරියට යන්න ලෝකයේ සෑම රටකින්ම විශාල සහයක් තිබෙනවා. ඊයේ අවසන් වූ ජාත්‍යන්තර වෙසක් උළෙලේ අවසන් උත්සවයේ කටයුතු වෙනුවෙන් ලංකාවට පැමිණි රටවල් 72 ක නියෝජිතයින් අත්සන් කළා මහනුවර ප‍්‍රකාශනයට ලෝකයේ සියලු රටවල බෞද්ධ ජනතාව එකම සංවිධානයක් යටතට ගැනීමත් ලෝකයේ බෞද්ධ රටවල් වල ජාත්‍යන්තර සංවිධානයක් හැදීමත් ඒ තුළින් බෞද්ධාගමික් කටයුතු ප‍්‍රචාරණය ප‍්‍රවර්ධනය ථෙරවාදී බෞද්ධ දර්ශනය ලෝකයේ ප‍්‍රචාරය කිරීම සඳහා බෞද්ධ රටවල් සියල්ල එක්ව පුළුල් අන්තර්ජාතික වැඩසටහනක් සඳහා මෙයින් ගිවිසගත්තා. ඒ වගේම රටේ කරන සංවර්ධන කටයුතු වලදී තිරසර සංවර්ධන ප‍්‍රතිපත්තිය, තිරසර සාමය, පාරිසරික සංරක්ෂණය, මත්ද්‍රව්‍ය මර්දනය, මේ කටයුතු වලට මූලිකත්වය දීලා අපි දරුවන්ගේ අධ්‍යාපනය ප‍්‍රමුඛ යහපත් සමාජයක් ගොඩනැගීමේ කාර්යයන් ප‍්‍රමුඛ කාර්යයන් ලෙස ඉටුකරන බව ද මෙහිදී සඳහන් කිරීමට කැමතියි.


ඒ නිසා එවැනි පුළුල් සංවර්ධන කාර්යයන් මේ වනවිට කරගෙන යනවා. එවැනි වැඩ කරගෙන යන අතරතුරේ තමයි ආණ්ඩුවට විරුද්ධව අදහස් දරන අය පහත් විවේචන කරන්නේ. සමහර අය හිතනවා මේ ආණ්ඩුව හෙට අනිද්දා වෙනස් කරන්න පුළුවන් කියලා. මැයි දිනයට ගෝ්ල්ෆේස් පිටියට ආපු ඔළුගෙඩි ගණනෙන් සමහර අය හිතුවා පහුවදාට ආණ්ඩුවක් හදන්න පුළුවන් කියලා. ඉන්දීය අග‍්‍රාමාත්‍යතුමා හැටන් දික්ඔයට ආපුවහම එතනත් හිටියා ලක්ෂ ගාණක් නුවරඑළිය දිස්ත‍්‍රික්කයෙන් විතරක්. මම පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ වෙලාවේ මගේ රැස්වීම් වලට වඩා අති විශාල ජනකායකන් හිටියේ කාගේ රැස්වීම් වලට ද කියලා තමුන්නාන්සේලා දන්නවා. පොළොන්නරු නගරයේ පැවැත්වූ රැස්වීම් වලට ලක්ෂයකට කිට්ටු සංඛ්‍යාවක් ඇද්දා බස් දාලා. මම පොළොන්නරු දිස්ත‍්‍රික්කයේ මහ රැස්වීම් තිබ්බෙ නැහැ. ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල හයේ එක ගානේ රැස්වීම් තිබ්බා. ඡන්ද ප‍්‍රථිපලය කුමක්ද කියලා තමුන්නාන්සේලා දන්නවා. මේ රටේ ජන සංයුතිය, ආගමික පසුබිම, සංස්කෘතික තත්ත්වයන්, සමාජය සකස්වී තිබෙන ආකාරය මේ සියල්ල අනුව තමයි මැතිවරණයක් වෙලාවට ඡන්ද පෙට්ටියට ඡන්ද වැටෙන්නේ. ඒ පැහැදිලව කියන්නට ඕනෑ. ඒක නිසා පිට්ටනියකට සෙනඟ ගෙනල්ලා ඔළු ගෙඩි සංඛ්‍යාවෙන් හෙට ආණ්ඩුවක් හදන්න පුළුවන් කියලා කවුරුහරි හිතනවා නම් ඒක ලොකු විහිළුවක්. මහනුවර තිබුණා අපේ පෙළපාලි, රැස්වීම්. එක්සත් ජාතික පක්ෂය කොළඹ කැම්බල් පිටියේ තිබුණා. අපේ මැයි දිනයට මහනුවර නගරයට ඇතුල්වෙන පාරවල් හතරකින් කිලෝමීටර් හයක් හතක් පෙළපාලි ආවා. මුළු මහනුවර නගරය පිරුණා. ගොල්ෆේස් ගිය අය පෙළපාලි තිබුණෙ නැහැ. සෙනග එක තැනකට ගෙනත් රැස්වීම තිබුණා. අපි මහනුවර මහා වර්ෂාවට මුහුණ දුන්නා.


ඒ නිසා විවේචන කොතෙක් ආවත් අපි ශක්තිමත් ආණ්ඩුවක් විදියට ඉදිරියට යනවා. අපේ රටේ සංවර්ධන කටයුතු වලට ලෝකයේ රටවල් වලින් විශාල වශයෙන් මුදල් ලැබෙනවා. මේ රට විශාල ණය බරකට ලක්කරලා, සැලෝලයිඩ් සංවර්ධනයක් පෙන්නලා, සමහර අය කියනවා බොහොම ලොකු සංවර්ධනයක් තිබුණා කියලා, ඒ සංවර්ධනය අස්සේ තිබුණු ණය බර තමයි අද මේ රටට ප‍්‍රශ්නය වී තිබෙන්නේ. ඒ ණය බර ගෙවාගන්න බැරි නිසා තමයි ජනාධිපතිධූරයේ තව වසර දෙකකට කලින් ඡන්දය තිබ්බේ. තවමත් පිළිතුරු දී නැහැ වසර දෙකක් බලයේ සිටීමට ඉඩ තිබියදීත් ඇයි ඡන්දෙකට ගියේ කියලා. ඡන්දෙකට ගියේ බැරි හින්දා. ආර්ථික අර්බුදය, විදේශ ණය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව යෝජනා වලට මුහුණ දෙන්න බැරිකම, ඒ ප‍්‍රශ්න නිසයි ඡන්දෙකට ගියේ.


අපි ඒ ප‍්‍රධාන ප‍්‍රශ්න අවසන් කළා. කතාකරපු විදුලි පුටු, ජාත්‍යන්තර යුද අධිකරණ ඒ පොත මම වැහුවා. ඒ පොත ඉවරයි. ඒවාට මුහුණ දෙන්න බැරිනිසයි ඡන්දෙකට ගියේ.


දැන් අපි විදේශ ණය බරින් මේ රට ගොඩ අරගෙන මේ රටේ ආර්ථික සංවර්ධනය ඇතිකරගෙන මේ රට ඉදිරියට ගෙන යාම පිළිබඳව පුළුල් ජාතික සංවර්ධන වැඩසටහනක් ක‍්‍රියාත්මක කර තිබෙන්නේ. මම ඒ නිසයි කිව්වේ මහවැලි වාරි ක්ෂේත‍්‍රයේ විතරක් මේ වසර තුළ ආරම්භ වන අති විශාල දැවැන්ත යොජනා ක‍්‍රම වගේම ග‍්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරන්න අපේ අපනයනය ශක්තිමත් කරන්න දේශීය කෘෂිකර්මාන්තය, කර්මාන්තකරණය සංවර්ධනය කරන්න අප විසින් ගෙනයන පුළුල් ජාතික සංවර්ධන වැඩසටහන අපි ශක්තිමත් කරමින් ඉදිරියට යනවා. අපිට රටක් ලෙස සතුටු වෙන්න පුළුවන්කම තිබෙනවා.


රජයේ සංවර්ධන ක‍්‍රියාදාමය කාර්යක්ෂම කරමින් වේගවත් කරමින් ජනතාවට අවශ්‍ය පුළුල් ජාතික සංවර්ධන වැඩපිළිවෙළක් අපි ගෙනයනවා. දැනට සති දෙකකට පෙර අපි ආරම්භ කළා “ග‍්‍රාම ශක්ති” නව ආර්ථික සංවර්ධන වැඩපිළිවෙල. සෑම ප‍්‍රාදේශීය කොට්ඨාසයකින් මේ වසරේ තෝරාගන්නා ලද පවුල් සංඛ්‍යාවක් ඒ අයගේ ආර්ථිකය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් අපි රට පුරා නියමු ව්‍යාපෘති ලෙස ක‍්‍රියාත්මක කරනවා. ගැමි දිරිය ජාතික වැඩසටහන සමග ග‍්‍රාම ශක්ති වැඩසටහන ඒකාබද්ධව අඩු ආදායම්ලාභී පවුල් ශක්තිමත් කිරීම සඳහා මේ වැඩපිළිවෙලවල් රාශියක් ක‍්‍රියාත්මක කරන්නේ. මේවායේ ප‍්‍රතිඵල එනවිට විදේශ ණය පහළ බසින විට ලෝකයේ රටවල් වල විශාල සහයෝගයක් ලැබෙන විට අපේ ඉදිරියට යාම බලාගෙන සිටීමට නොහැකි මිනිසුන් කොටසක් තමයි මේ ආණ්ඩුව දුර්වලයි කියා කියන්නේ. පසුගිය දවස් වල කට්ටියක් කිව්වා වෙසක් දවසට කළු කොඩි දාන්න කියා. ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා පැමිණෙන නිසායි එහෙම කිව්වේ. ඉන්දීය අගමැතිතුමා එන්නේ ගිවිසුම් අත්සන් කරන්න කියා කිව්වා. මම බොහෝම පැහැදිලිව කිව්වා ඉන්දීය අගමැතිතුමා එන්නේ මාගේ ආරාධනයකට. සම්පූර්ණයෙන්ම වෙසක් උත්සවයේ කටයුතු සඳහා පමණයි. කිසිදු නිල සාකච්ඡාවක්, සංවාදයක් නැහැ. ගිවිසුම් අත්සන් කිරීමක් නැහැ. ඉන්දීය අගමැතිතුමා එනකොට කළු කොඩි දාන්න කියපු අය රැ 11 ට ගිහින් ඉන්දීය අගමැතිතුමාව හමුවුණා. ඉන්දීය මහ කොමසාරිස්තුමා මට කිව්වා මෙහෙම හමුවෙන්න ඉල්ලා තිබෙනවා කළු කොඩි කට්ටිය. මොකද කියන්නේ කියා. මම අනේ හමුවෙන්න දෙන්න කිව්වා. එමෙන්ම නේපාලයත් ශ‍්‍රී ලංකාවත් අතරේ නව වෙළෙඳ ආර්ථික සම්බන්ධතා වැඩි කරගැනීමට අපි සාකච්ඡා පැවැත්වුවා.



රජයක් විදියට අපේ සංවර්ධන කටයුතු ශක්තිමත්ව වේගවත්ව ඉදිරියට යන වෙලාවක ස්වාභාවධර්මයා තුළින් යම් අයහපත් තත්ත්වයක් ඇති වුණත් ඒවා තාවකාලික තත්ත්වයන් බව අප දන්නා නිසා එම තත්ත්වයන් විඳදරාගෙන මේ තිබෙන ආර්ථික අර්බුදයෙන් රට ගොඩගෙන ඔබේ ජීවන තත්ත්වය උසස් කරගෙන රටක් විදියට ඉදිරියට යාමට අප සියලු දෙනාම කැපවෙමු කියන ආයාචනාව කරමින් ඔබ සියලු දෙනාට ස්තූතිවන්ත වෙමින් ඔබෙන් සමුගන්නවා.


තෙරුවන් සරණයි

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.