• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

එක්සත් ජාතීන්ගේ 14 වන වෙසක් දින උළෙල සාර්ථක කර ගැනීමට සහය දුන් සැමට ජනපතිගෙන් තුති

He presidentමෙවර ශී‍්‍ර ලංකාවේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු එක්සත් ජාතීන්ගේ 14 වන වෙසක් දින උළෙල සාර්ථක කර ගැනීමට සහය දුන් සැමට ජනාධිපති  මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා සිය විශේෂ ස්තූතිය පිරිනමයි.



ඒ පිළිබඳ ජනාධිපතිතුමා නිකුත් කළ විශේෂ නිවේදනය පහත පරිදි වේ.



එක්සත් ජාතීන්ගේ 14 වන වෙසක් දින උළෙල 2017 වසරේදී ශ‍්‍රී ලංකාවේදී පැවැත්වීමට ලැබීම අප ලද සුවිශේෂීි ජයග‍්‍රහණයකි. 1950 වසරේදී මහනුවර ඓතිහාසික මඟුල් මඩුවේදී ආරම්භ කරන ලද ලෝක බෞද්ධ මහා සම්මේලනයේ ප‍්‍රථම සැසිවාරයෙන් පසුව ජාත්‍යන්තර මට්ටමේ බෞද්ධ කතිකාවක් හා සාමූහික සැමරුමක් එමගින් සනිටුහන් කර තිබේ.


වෙසක් දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් බවට පත්කර ගැනීමට හා එය සමස්ත ලෝකය පුරා ගෞරවයෙන් සැමරුමට ලක්කරන පූජනීය දිනයක් ලෙසට ප‍්‍රකාශයට පත්කර ගැනීම සඳහා එම අදහස ප‍්‍රථමයෙන්ම ඉදිරිපත් කරන ලද ලෝක බෞද්ධ මහා සම්මේලනයේ සමාරම්භක සභාපති මහාචාර්ය ගුණපාල මලලසේකර මහතාගේ සහ අදාළ යෝජනාව නිල වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කරන ලද හිටපු විදේශ අමාත්‍යවරයෙකු වන ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ මෙහෙවර මේ මොහොතේ ගෞරවයෙන් සිහිපත් කළ යුතුය.



මෙවර ශ‍්‍රී ලංකාවේදී පැවැති එක්සත් ජාතීන්ගේ 14 වන වෙසක් දින උළෙල මගින් සියලුම බෞද්ධ රටවල් ඇතුළුව බෞද්ධ ජනතාව වෙසෙන ලොව පුරා සියලු රටවල් සමග පවත්නා මිත‍්‍රශිලී සබඳතා තහවුරු කර ගැනීමට අපට හැකි විය. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් පදනම් කරගත් බෞද්ධ දර්ශනය තුළින් මනුෂ්‍ය ප‍්‍රජාව වෙත උරුමකර දුන් නිරාමිශ සුවය හා ශික්ෂණය ප‍්‍රචලිත කිරීමේ භාග්‍යය මෙම උත්සවය මගින් අප වෙත උදා කෙරිණි. ථෙරවාදි බෞද්ධ කේන්ද්‍රස්ථානයක් ලෙස ශ‍්‍රී ලංකාව වෙත පැවරී ඇති උත්තරීතර වගකීම ද ඒ මගින් සංකේතවත් වූ බව මාගේ පිළිගැනීමයි.



‘සමාජ සාධාරණත්වය හා තිරසාර ලෝක සාමය සඳහා බුදුදහමේ ඉගැන්වීම්’ තේමාව කර ගනිමින් මෙවර සංවිධානය කළ ජාත්‍යන්තර වෙසක් උත්සවයේ ප‍්‍රතිඵල ලෝක වාසීන් වෙත දායාද කිරීමට අපට හැකිවිය. මහනුවර ප‍්‍රකාශය හරහා ඉදිරිපත් කරන ලද තිරසාර ලෝක සාමය උදෙසා බුදුන්වහන්සේගේ දර්ශනය තුළින් ලබාගත හැකි මාර්ගෝපදේශයන් පිළිබඳව අධ්‍යයනයට හා විශ්ලේෂණයන්ට සමස්ත ලෝකයටම කරන ලද ගෞරවනීය ආරාධනයක් ලෙසට ද මෙවර ජාත්‍යන්තර වෙසක් උත්සවය සැලකිය හැකිය.



2017 ජාත්‍යන්තර වෙසක් උත්සවය සාර්ථක කර ගැනීම සඳහා ශ‍්‍රී ලංකාවට සපැමිණි ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිංග් මෝදි මැතිතුමා සහ නේපාල ජනාධිපතිනි බින්ද්‍යා දේවි භන්දාරි මැතිනියට ද අනෙකුත් සියලුම රාජ්‍යයන් නියෝජනය කරමින් පැමිණි සියලුම රාජ්‍ය තාන්ත‍්‍රික අමුත්තන්ට ද මාගේ ගෞරවය පුදකරනු කැමැත්තෙමි. එමෙන්ම ශ‍්‍රී ලංකාද්වීපයට ඉමහත් ගෞරවයක් හා අභිමානයක් ලබාදුන් මෙම උතුම් කටයුත්ත සඳහා අවවාද අනුශාසනා ලබාදෙමින් ද අදාළ කටයුතු සඳහා සහභාගි වෙමින් ද අපවෙත ලබා දුන් සහයෝගය පිළිබඳව අතිගරු මහා නායක, අනුනායක ස්වාමීන්ද්‍රවරයාණන් වහන්සේලා ප‍්‍රමුඛ ශ‍්‍රී ලාංකීය හා විදේශීය පූජනීය මහා සංඝරත්නයට ද අනෙකුත් ආගම් නියෝජනය කරමින් සහභාගිත්වය දැක්වූ සහ ශුභාශිංසන පිරිනමමින් දායක වූ ගෞරවනීය කාදිනල්තුමන්, රදගුරුවරුන් ද ඇතුළුව සියලුම ආගමික නායකයන් වෙත ද මාගේ ගෞරව පූර්වක නමස්කාරය පුදකරනු කැමැත්තෙමි.



එමෙන්ම ගරු අග‍්‍රාමාත්‍යතුමන්ට, ගරු කථානායකතුමන්ට මෙන්ම මෙම සමස්ත ක‍්‍රියාවලියේදී විශිෂ්ට කාර්යභාරයක් හා වගකීමක් ඉටුකළ බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ, අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු සියලුම නිලධාරීන්ට ද ඒ හා සම්බන්ධ වූ අනෙකුත් සියලුම අමාත්‍යවරුන්, ආණ්ඩුකාරවරුන් ප‍්‍රධාන සියලු අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා ආයතනයන්හි සමස්ත කාර්යය මණ්ඩලවලට ද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා ලේකම්වරයා ඇතුළු සියලුම නිලධාරීන්ට ද ශ‍්‍රී ලංකාවේ පිහිටි විදේශීය ඳුත මණ්ඩල ප‍්‍රධානීන් ඇතුළු නිලධාරීන්ට ද ත‍්‍රිවිධ හමුදාව, ශ‍්‍රී ලංකා පොලිසිය මෙන්ම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට ද මාගේ ස්තූතිය පළ කරනු කැමැත්තෙමි.



එමෙන්ම බෞද්ධ සංස්කෘතියෙන් ලද විනය, ශික්ෂණය සහ ආගමික භක්තිය පළ කරමින් ජාත්‍යන්තර වෙසක් උළෙල සර්වප‍්‍රකාරයෙන් සාර්ථක කරගන්නට සහය දුන් සමස්ත ශ‍්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාවට සහ අන්‍යාගමික බැතිමතුන්ට ද හෘදයාංගම කෘතවේදීත්වය පළ කරමි.
 
 
 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.