• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කී‍්‍රඩා ක්ෂේත‍්‍රයේ විශිෂ්ටයින් අගයන ජනාධිපති කී‍්‍රඩා සම්මාන උළෙල ජනපති ප‍්‍රධානත්වයෙන්

 
He news 2017 5 19සෞඛ්‍ය සම්පන්න නිරෝගිමත් ජනතාවක් සමග විනයගරුක සමාජයක් බිහි කිරීමට කී‍්‍රඩාව තුළින් ඉටුවන මෙහෙය සුවිශාල බව ජනාධිපතිතුමා පවසයි.



ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ පසුගිය (19) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති 2016 ජනාධිපති කී‍්‍රඩා සම්මාන උළෙල අමතමිනි.


කී‍්‍රඩා ක්ෂේත‍්‍රයේ විශිෂ්ටයින්ට ජනාධිපති සම්මාන පිරිනැමීම වෙනුවෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව පසුගිය වසරේ ආරම්භ කළ ජනාධිපති කී‍්‍රඩා සම්මාන උළෙල මෙවර පැවැත්වූයේ දෙවන වරටය.



විශිෂ්ටතා දැක්වූ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 13 දෙනෙකු මෙහිදී ජනාධිපතිතුමා අතින් සම්මාන ලබා ගත් අතර කී‍්‍රඩා ජයග‍්‍රහණ ලබා විශිෂ්ටත්වයට පත්වූ හා කී‍්‍රඩාව වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටුකළ ආදර්ශවත් කී‍්‍රඩාශීලිත්වය වෙනුවෙන් ජීවිතයට එක්වරක් පිරිනැමෙන ක‍්‍රීඩා භූෂණ සහ කී‍්‍රඩා රත්න සම්මාන ද මලල කී‍්‍රඩා ක්ෂේත‍්‍රයේ හා පිහිණුම් ක්ෂේත‍්‍රයේ සම්මාන මෙහිදී ජනාධිපතිතුමා අතින් පිරිනැමිණි.



ජාත්‍යන්තර තරඟවලදී ජයග‍්‍රහණ ලැබූ මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව සහ අනුරාධ කුරේ යන මහත්වරුන්ට මෙහිදි ජනාධිපතිතුමා අතින් සම්මාන පිරිනැමිණි.


උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ රටක් ලෙස කී‍්‍රඩා ක්ෂේත‍්‍රයේ වර්ධනයත් සමග ඉදිරියට යාමට අප තවත් බොහෝ කැපකිරිම් කළයුතුව ඇති බවයි. ජාතික වශයෙන් සහ අන්තර්ජාතික වශයෙන් තිබෙන තරඟකාරිත්වයත් සමඟ හෙට දවසේ අභියෝග ජය ගැනීම සඳහා අද දවසේ අපගේ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සූදානම් කිරීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.


පැරණි කි‍්‍රඩාංගණ ප‍්‍රතිසංස්කරණය, නව කී‍්‍රඩාංගණ ඉදිකිරීම මෙන්ම කී‍්‍රඩා ක්ෂේත‍්‍රය සඳහා අවශ්‍ය සම්පත් ලබාදීමේදී පසුගිය වසර දෙක හමාර තුළ කිසියම් යුගයක කෙටි කාලයක් තුළ ඉටු නොකළ වැඩකොටසක් වත්මන් රජය ඉටුකර ඇති බවද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.



මෙම කි‍්‍රඩා උළෙළ තුළින් අපේක්ෂා කරන්නේ වත්මන් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ජාතික සහ ජාත්‍යන්තර ජයග‍්‍රහණ සඳහා දිරිමත් කිරීම මෙන්ම වත්මන් පරපුර කි‍්‍රඩා ක්ෂේත‍්‍රය සඳහා යොමු කරමින් නිරෝගිමත් මෙන්ම විනයගරුක අනාගත පරපුරක් ගොඩනැගීම බවද ජනාධිපතිතුමා සඳහන් කළේය.


අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර, ලක්ෂ්මන් කිරිඇල්ල, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ඇතුළු මැති ඇමතිවරුන් සහ කී‍්‍රඩා ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීනයින්, කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


ජනාධිපති ක‍්‍රීඩා සම්මාන උළෙලේදී ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව (2017.05.19 වන දින ප.ව. 7.00 ට BMICH හිදී)


2016 වසරේ ජනාධිපති සම්මාන පිරිනැමීමේ ක‍්‍රීඩකයින් මුල් කරගත් මේ වැදගත් අවස්ථාවට ඔබ සමග එක්වන්නට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා.


ඒ වගේම මේ අවස්ථාව සඳහා මට ආරාධනා කිරීම පිළිබඳව ඇමතිතුමා ඇතුළු අමාත්‍යාංශයේ කාර්යමණ්ඩලයට මා ස්තූතිවන්ත වෙනවා. අපේ රටේ ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය පිළිබඳව වඩාත් අවබෝධයක් සහ අත්දැකීමක් ඔබ සියලු දෙනාටම තිබෙනවා. පසුගිය දශක කිහිපය ගත්විට ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය තුළ ජාතික වශයෙන් ලැබූ ජයග‍්‍රහණත් අන්තර්ජාතික ජයග‍්‍රහණත් නිසා අපි ඉතාමත් සතුටට පත් වුණා වගේම ඇතැම් අවස්ථාවන්වලදී බලාපොරොත්තු නොවූ ප‍්‍රතිඵල ලැබීම නිසා අපි කනගාටුවට පත්වුණු අවස්ථාත් තිබුණා. ජාතික මට්ටමෙන් ඒ වගේම අන්තර්ජාතික වශයෙන් ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ දක්ෂකම්, හැකියාවන්, කුසලතාවයන් කැපවීම් සමග පෙන්නුම් කළ ඔබට ජනාධිපති සම්මාන පිරිනමන්නේ කුමක් සඳහාද? බොහෝ විට එය සරළව සහ පහසුවෙන් අර්ථ දක්වන්න පුළුවන් ඔබව දිරිමත් කරන්නත්, ඔබට ගරු කරන්නත් කියා. එය එසේ වනවා වගේම මේ සම්මාන ඔබට දෙන්නේ ඔබෙන් බාහිරව මේ රටේ විශේෂයෙන්ම, තරුණ පරපුර ප‍්‍රමුඛව පාසැල් දරුවන් ඇතුළු සමස්ත පොදු ජනතාවටම ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය පිළිබඳවත් ක‍්‍රීඩාව පිළිබඳවත් අවබෝධයක් ලබාදී ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයට ඒ සියලු දෙනාටම එක්වන්න කියලා පණිවුඩයක් දෙනවා.


අපේ රටේ පසුගිය දශක කිහිපය ගත්විට බලයට පත් වුණු සෑම ආණ්ඩුවක්ම මා දන්නා පරිදි ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ වැඩි දියුණුව සඳහා බොහෝ කටයුතු ඉටු කළා. අපි පාසැල් යන කාලයේ අපි ක‍්‍රීඩා කරපු ක‍්‍රීඩා පිටියත් ඒවගේම පාසැල් යන කාලේ අපි ඈත දුර පළාත්වලින් ඇවිල්ලා කොළඹ ජාතික ක‍්‍රීඩාවලට සහභාගි වූ අවස්ථාවල්වලදී අපි දැක්ක ක‍්‍රීඩා පිටිවලටත් වඩා අද භෞතික වශයෙන්, තාක්ෂණික වශයෙන් බොහෝ වෙනස්කම් තිබෙන, ඉතාමත් දියුණු ක‍්‍රීඩාපිටි, ක‍්‍රීඩාගාර, ක‍්‍රීඩා තාක්ෂණික උපකරණ අද ක‍්‍රීඩකයින් ඇතුළු නව පරපුරට සිය භාවිතය දක්ෂකම්වලින් සහ හැකියාවෙන් ඉදිරියට යන්න විශාල ශක්තියක් බවට පත් වෙලා තිබෙනවා. මම අවුරුදු 14 ක් අඛණ්ඩව පොළොන්නරුව දිස්ත‍්‍රික් ක‍්‍රිකට් ක‍්‍රීඩා කමිටුවේ සභාපති වශයෙන් හිටියා. ජනාධිපති වුණාට පස්සේ මම කිව්වා මම ඉල්ලා අස්වෙන්න ඕනෑ. මට මේ කටයුතුවලට කාලය යොමු කරන්න අමාරු කියලා. ඒ වගේම මගේ මතකයේ තිබෙනවා ජතික පිහිණුම් සංගමයේ මම අඛණ්ඩව අවුරුදු 03 ක් සභාපති වශයෙන් හිටියා. ජාතික ජිම්නාස්ටික් සංගමයේ අඛණ්ඩව මම අවුරුදු 03 ක් සභාපති වශයෙන් කටයුතු කළා. අපි සෑම කෙනෙකුටම තිබෙන ඒ අත්දැකීම් සමග වඩාත් ඉදිරියට යා යුත්තේ ඔබේ දක්ෂකම්, හැකියාවන් සමගයි. දක්ෂ ක‍්‍රීඩකයින් ජාතික වශයෙන්, අන්තර්ජාතික වශයෙන් බිහිකිරීම වගේම මා පෙර කී පරිදි සෞඛ්‍යසම්පන්න, නිරෝගිමත් ජනතාවක් සමග විනයගරුක සමාජයක් බිහි කරන්න මේ රටේ සමස්ත ජනතාවට ඒ තුළින් දිය යුතු පණිවුඩය නිසයි. දවසේ පැය 24 ක කාලය තුළ මම වඩාත්ම සතුටු වෙන කාලය තමයි උදේ ක‍්‍රීඩා කරන පැයක කාලය. අපිට විශේෂයෙන්ම තිබෙන අත්දැකීම් සමග ඒ වගේම ලැබෙන පණිවුඩ සමග ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ වර්ධනය සම්බන්ධයෙන්, රටක් විදියට ඉදිරියට යන්න තව තවත් බොහෝ කැපකිරීම් කළ යුතුයි කියා මා විශ්වාස කරනවා.



ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය තුළ තරගවලදි දක්ෂකම් පෙන්නුම් කරන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ලබන ජයග‍්‍රහණ සමග සතුටු වෙනවා වගේම තරගවලදි ලබන ඇතැම් පරාජයන්වලදි අපි අසතුටුවෙන හේතු කරුණු කවරේද කියන එක ඔබ සෑම කෙනෙක්ම දන්නවා. ක‍්‍රීඩා පිටියේ වැරැදිවත් ක‍්‍රීඩා කිරීම සඳහා ඒ භාවිතයට දෙන තාක්ෂණික උපකරණවල වැරැදිවත් නොව මූලික වශයෙන්ම අපි දකින්නේ ඒ අඩුපාඩුකම් ඇති වෙන්නේ එක්පැත්කනින් පුහුණුවීම් වලදි. තවත් පැත්තකින් ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ කළමනාකරණයේදී ඇති වන දුර්වලතාවයන් තුළයි. තවත් පැත්තකින් බොහෝ විට තේරීම් වලදී ඇති වන අඩුපාඩුකම් තුළයි. ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ මා දන්නා පරිදි දේශපාලන ක්ෂේත‍්‍රය වගේම කඹඇදිලි, බෙලි කැපිලි, අසමගි ඒ සියලු දේවල් තියන ක්ෂේත‍්‍රයක්. එහෙම නැති ඒවා අද ලෝකේ නෑ. හැම තැනම එහෙමයි. ජනමාධ්‍ය ගත්තත්, කලාකරුවෝ ගත්තත්, වෙනත් උගතුන්ගේ ක්ෂේත‍්‍ර ගත්තත්, වෙනත් අංශවල ගත්තත් සෑම තැනම අද බොහේ වෙලාවට දකින අසමගිය ගැටුම් මේවා ඒ ක්ෂේත‍්‍ර තුළ ඉදිරියට යන්න බාධාවන් බවට පත් වෙලා තිබෙනවා. රටක් වශයෙන් ගත්තහමත් ඒ විදියහම තමයි.



 
ඒ නිසා අපි ප‍්‍රධාන වශයෙන් මේ ජනාධිපති සම්මාන පිරිනැමීමේ කාර්යයේදී ඔබේ දක්ෂකම්, හැකියාවන්, කුසලතාවයන් පිළිබඳව ඔබ රටට ලබාදුන් ගෞරවයන් පිළිබඳව, ඔබේ ජීවිත කාලය තුළ ඔබ කළ කැපකිරීම්වලට කරන ගෞරවයක් කරන්න ලැබීම ගැන, අන්තර්ජාතික වශයෙන් ඔබේ හැකියාවන් දක්ෂකම් සමග රටට ලබාදුන් කීර්තිය ඇතුළු සියල්ල පිළිබඳව අපි සතුටු වෙනවා වගේම අපි රජය විදියට ඔබ සෑම කෙනෙකුටම අපේ ගෞරවය සහ ස්තූතිය පිරිනමනවා. හෙට දවසේ ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය අභියෝගාත්මකයි. හෙට දවසේ ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ අභියෝගාත්මක වන්නේ ඊයේ දවසට වඩා හෙට දවසට සූදානම් වීම අවශ්‍ය නිසයි. ඊයේ දවසට වඩා හෙට දවස ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ ප‍්‍රධාන වශයෙන්ම, අන්තර්ජාතික වශයෙන් ලබන දියුණුවත් සමග ඒ තරගකාරිත්වයට අපි එක්විය යුතු නිසයි. අපට තරග දෙකක් තිබෙනවා. එකක් ඔබ නියෝජනය කරන ක‍්‍රීඩාවේ ජයග‍්‍රහණය. අනික් තරගය තමයි ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ ඇති වන දියුණුවත් සමග ජාතික වශයෙන් සහ අන්තර්ජාතික වශයෙන් තිබෙන්නා වූ ඒ තරගකාරිත්වය ජයග‍්‍රහණය කිරීම.



දයාසිරි ජයසේකර ඇමතිතුමා ක‍්‍රීඩා ඇමතිවරයා විදියට ගෙවුණු කෙටි කාලය තුළ ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ දියුණුව සඳහා විශාල වැඩකොටසක් ඉටු කර තිබෙනවා. දැන් මෙහිදී කලින් පෙන්නුම් කළා පසුගිය අවුරුද්දක් වගේ කාලසීමාවක් තුළ අලුතින් පටන් ගත් ක‍්‍රීඩාංගන සංවර්ධනය. පැරණි ක‍්‍රීඩාපිටි ප‍්‍රතිසංස්කරණයත්, ඒවගේම ක‍්‍රීඩාගාර ප‍්‍රතිසංස්කරණයත් ඒ වගේම ක‍්‍රීඩාපිටි අලුතින් ඇති කිරීම සහ ඒ සඳහා ලබා දෙන සම්පත් දීම මම දන්න පරිදි අවුරුද්දක් එකහමාරක් වගේ කාලයක් තුළ අලුත් ක‍්‍රීඩාපිටි ඉදිකිරීම සහ පැරණි ක‍්‍රීඩාපිටි, ක‍්‍රීඩාගාර ප‍්‍රතිසංස්කරණය කිරීම මේ ගෙවී ගිය අවුරුදු දෙකහමාරක කෙටි කාලය තුළ තරම් මම කිසිම කාලයක දැක්කේ නැහැයි කියන එක ඉතාම පැහැදිලිව කියනවා. ඒ නිසා අපි රජය විදියට ඒ සම්පත් ලබාදීලා ඔබ වගේම මේ රටේ ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ සෑම කෙනෙකුටම ඒ පිළිබඳව අවස්ථාව ලබාදීම රටේ වැඩි පිරිසක් මේ සඳහා සහභාගිත්වය තුළ අපි බලාපොරොත්තු වන අරමුණු ඉටු කර ගැනීම, මේ කියන සමස්ත කරුණු සම්බන්ධයෙන් අපි සෑම කෙනෙක්ම තුළ තිබිය යුතු සාමුහිකත්වය, එකඟතාවය, පොදු බව, පොදු ඉලක්කයක් කරා යාම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ නිසා දයාසිරි ජයසේකර ඇමතිතුමත්, නියෝජ්‍ය ඇමතිතුමත් ක‍්‍රීඩා අමාත්‍යාංශය, ක‍්‍රීඩා දෙපාර්තමේන්තු ඔබ සියලුදෙනා සමග ක‍්‍රීඩා සංගම් මේ කරන කැපකිරීම් සහ කාර්යයන් මම ඉතාමත් අගය කරනවා. ජනාධිපති සම්මාන දීම තුළ මම මුලදි පැහැදිලි කළ ආකාරයට ඔබට ගරු කිරීම, ඔබව දිරිමත් කිරීම, ඔබව ශක්තිමත් කිරීම වගේම මේ තුළින් දෙන පණිවුඩය, සමස්ත සමාජයට ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයට එක්වී නිරෝගිමත් විනයගරුක සමාජයක් බිහි කිරීමේ කාර්යය යි. ඒ නිසා මේ උතුම් කටයුත්තේ එක් වැදගත් අවස්ථාවක් විදියට අද ඔබ සමග එක්වන්න ලැබීම ගැන මා ඉතාමත් සතුටු වෙනවා.



ඔබේ පෞද්ගලික ජීවිතයත්, ඒවගේම ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය තුළ කටයුතුත් රජය විදියට අපි බලාපොරොත්තු වන දේත්, ඒවගේම භාග්‍යවන්ත වූ රටක් ගොඩනගන්න, ජාතියක් විදියට බලාපොරොත්තු වන ප‍්‍රබුද්ධ සිතුවිලි සහ සංකල්පයන් සමග ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ ඉදිරියට යන්නට අප සෑම කෙනෙකුටම මේ ගන්නා උත්සාහය තුළ වැඩි වැඩියෙන් ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවායි කියා ආශිර්වාද කරමින් සුබ පතමින් ඔබෙන් සමු ගන්නවා.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.