• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

අතුරුදහන්වූවන් යම් ස්ථානයක රඳවා සිටින්නේයැයි පවසනවානම් එම ස්ථාන පරික්ෂා කිරීමට රජය වැඩපිළිවෙළක්

He news 2017 5 20අතුරුදහන්වූවන් පිළිබඳ කරුණු ඉදිරිපත් කරමින්, යම් ස්ථානයක ඔවුන් රඳවා සිටින්නේයැයි පවසනවානම් එම ස්ථාන පරික්ෂා කිරීම සඳහා රජය වැඩපිළිවෙළක් සකස් කරන බව ජනාධිපතිතුමා පවසයි.



එසේම මීට පෙර පත්කළ කොමිෂන් සභා වාර්තා සහ නිර්දේශ සැලකිල්ලට ගනිමින් අතුරුදහන් වූවන් පිළිබඳ සොයා බැලීමට විශේෂ කමිටුවක් ළඟදීම පත්කරන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.


ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (20) සාම්පූර් ප‍්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමිනි.



2015 වසරේ තමා යාපනයේ හින්දු විද්‍යාලයේ සිසු දරුවන් පිරිසක් සමඟ පෙනී සිටි ඡායාරූපයක් අන්තර්ජාලයට මුදාහරිමින් තමා සමඟ සිටි එම දරුවන් අතුරුදහන් වී ඇති බවට ගෙන ගිය ප‍්‍රචාරය අන්තවාදින්ගේ දේශපාලන කුමන්ත‍්‍රණයක් බවත්, එවැනි අතුරුදහන්වීමක් සිදුවී ඇත්නම් එම දරුවන් සොයා ගැනීම සඳහා තමාගේ ද උපරිම සහය ලබාදෙන බවත් ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.


එමෙන්ම පසුගිය 18 වනදා තමා කිළිනොච්චියට පැමිණිමට සිටින බවත්, උතුරේ විරෝධතා පවත්වමින් තමන්ට ඒමට ඉඩ නොදෙන බවත් පවසමින් ගෙන ගිය ප‍්‍රචාරය ද සිහිපත් කළ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ එදින තමන් එවන් සංචාරයක් සිදුකිරීමට නියමිතව නොතිබූ බවයි.



ලැබු නිදහස සහ සාමයේ වටිනාකම අවබෝධ කරගනිමින් සියලුදෙනා කටයුතු කළ යුතු බව ද මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා මහජනතාව නොමග යවමින් ලැබූ සාමය පළුදු කිරීමට ගෙන යන අන්තවාදින්ගේ කුමන්ත‍්‍රණ පරාජය කිරීමට සියලු ජනතාව ඒකරාශි විය යුතු බවද අවධාරණය කළේය.



එමෙන්ම අතුරුදහන්වූවන් පිළිබඳ කටයුතු කිරීමේ කාර්යාලයක් පිහිටුවීමට පාර්ලිමේන්තුවේ සම්මත කරගත් පනතට සංශෝධන අවශ්‍ය බවට ප‍්‍රකාශවීමෙන් අනතුරුව ඒ සඳහා අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගැනීමට තමන් අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලයට උපදෙස් ලබා දී තිබෙන බව ද ජනාධිපතිතුම මෙහිදී සඳහන් කළේය.


දකුණේ මෙන්ම උතුරේ ද සංවර්ධනය තමා අතපසු නොකළ බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා ලැබු නිදහස රැක ගනිමින් ජාතික සමගිය සහ සංහිඳියාව යතාවත් කිරීමට සියලු දේශපාලන නායකයින් කැපවිය යුතු බව ද කියා සිටියේය.



සාම්පූර් නැගෙනහිර, සාම්පුර් බටහිර, නවරත්නපුර, කොනිතිවූ, කඩකරාචාචෙන්නායි යන ග‍්‍රාමසේවා වසම් 05 ක වෙසෙන 4253 ක පමණ ජනතාවට සෙත සලසමින් අලුතින් ඉදිකරන ලද සාම්පූර් දිස්ති‍්‍රක් රෝහල ඊයේ (20) පෙරවරුවේ ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පැවරිණි.



රුපියල් මිලියන 56 ක වියදමින් අංග සම්පුර්ණ පහසුකම් සහිතව මෙම රෝහල ඉදිකර තිබේ.


සමරු පළකය නිරාවරණය කර රෝහල විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.


රෝහල සඳහා ඇතුළත් කෙරුණු පළමු රෝගියා ලියාපදිංචි කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.



මේ අතර ලංකාපටුන විහාරස්ථානය සඳහා ගමන් කිරීමට ලංකාපටුන කලපුව හරහා ඉදිකෙරුණු නව පාලම ද අද පෙරවරුවේ ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි.


මීටර් 150 ක් දිගින් යුත් නව පාලම මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ ඉදිකර තිබේ.



පාලම විවෘත කළ ජනාධිපතිතුමා ලංකාපටුන විහාරස්ථානයේ විහාරාධිකාරී ස්වාමින් වහන්සේ ද බැහැ දැක උන්වහන්සේගේ සුව දුක් විමසමින් කෙටි කථා බහක නිරත විය.


එමෙන්ම පාලම විවෘත කිරීමට ප‍්‍රථම පාලම අසළ පිහිටි ඉපැරණි කන්නගි අම්මාන් කෝවිල වෙත ද ගිය ජනාධිපතිතුමා ආශිර්වාද ලබා ගත්තේය.


උතුරු නැගනෙහිර පළාත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද සාම්පූර් නව සංස්කෘතික මධ්‍යස්ථානය ද අද ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පැවරිණි.


සියලු පහසුකම් සහිතව ඉදිකර තිබෙන මෙම සංස්කෘතික මධ්‍යස්ථානය සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 22 කි.



යුද්ධයෙන් අවතැන්වූ ජනතාව නැවත පදිංචි කිරීම යටතේ ඉදිකරන ලද සාම්පූර් ප‍්‍රදේශයේ ජනතාව වෙත ස්ථීර නිවාස, සෞඛ්‍ය, පානීය ජලය, හා අභ්‍යන්තර මාර්ග, විදුලිය, පාසල් හා අනෙකුත් යටිතල පහසුකම් බොහොමයක් මේ වන විට රජය මගින් සම්පූර්ණ කර දී ඇත.



සාම්පූර් වැසියන්ගේ කෘතවේදිත්වය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගන්වමින් සමරු තිළිණයක් පිළිගැන්විම ද මෙහිදී සිදු විය.



විපක්ෂනායක ආර්. සම්බන්ධන්, අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, ෆයසර් මුස්තාපා, රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප‍්‍රනාන්දු, ප‍්‍රධාන අමාත්‍ය නසීර් අහමඞ්, ති‍්‍රකුණාමල පාර්ලිමේන්තු මන්තී‍්‍ර අබ්දුල් මහරුෆ්, පළාත් අමාත්‍ය එස්. තණ්ඩායුධපානී, ආරියවතී ගලප්පත්ති යන මහත්ම මහත්මීන් ඇතුළු ප‍්‍රාදේශීය දේශපාලන නියෝජිතයින් රැසක් මෙම අවස්ථාවන්ට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.