• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

රාජ්‍ය නායක සංචාරයක් සඳහා ඔස්ටේ‍්‍රලියාවෙන් ශී‍්‍ර ලංකාවට ලැබුණු ප‍්‍රථම නිල ආරාධනය සනිටුහන් කරමින් ජනපති තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා ඔස්ටේ‍්‍රලියාවට

He news 2017 5 23රාජ්‍ය නායක සංචාරයක් සඳහා ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට ලැබුණු ප‍්‍රථම නිල ආරාධනය සනිටුහන් කරමින් ඔස්ට්‍රේලියානු අග‍්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතාගෙන් ලද විශේෂ ආරාධනයක් පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා අද (23) ඕස්ට්‍රේලියාව බලා පිටත්වයාමට නියමිතය.



මීට පෙර 1954 වසරේදී හිටපු අග‍්‍රාමාත්‍යවරයෙකු වන ශ්‍රීමත් ජොන් කොතලාවල මහතා ඔස්ටේ‍්‍රලියානු රජයෙන් ලද ආරාධනයක් මත එහි නිල සංචාරයක නිරතව තිබිණි.


එම යුගයේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා වශයෙන් සලකන ලද්දේ බ්‍රිතාන්‍ය මහ රැජිණ වූ හෙයින් ජෝන් කොතලාවල මහතාට රාජ්‍ය සංචාරයක් සඳහා අවස්ථාවක් නොලැබුණු අතර එය සලකන ලද්දේ නිල සංචාරයක් ලෙසටය. ඒ අනුව නිදහස් ශ්‍රී ලංකාවේ කිසිදු රාජ්‍ය නායකයෙකුට මින් පෙර ඕස්ට්‍රේලියානු රජයෙන් රාජ්‍ය සංචාරයක් සඳහා ආරාධනා ලැබී නැති අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මෙම සංචාරය සුවිශේෂී වන්නේ එය ඔස්ට්‍රේලියානු රජයෙන් ශ්‍රී ලංකා රාජ්‍ය නායකයෙකුට එරට රාජ්‍ය සංචාරයක් සඳහා ලැබුණු ප‍්‍රථම නිල ආරාධනය නිසාය.


ශ‍්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර දශක හතක් තිස්සේ පැවති සවිමත් සබඳතාවල සීග‍්‍ර වර්ධනයක් පසුගිය වසර දෙක තුළ දක්නට ලැබුණි. පසුගිය කාලයේ බොහෝ ජාත්‍යන්තර වේදිකාවලදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ඔස්ට්‍රේලියානු අග‍්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා අතර සාකච්ඡා පැවැත්විණි.


ආරක්ෂක ක්ෂේත‍්‍රයේදී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර සමීප සහයෝගීතාවයක් පවතී. එයට නාවුක ගමනාගමන කටයුතු පමණක් නොව මිනිස් ජාවාරම්කරුවන්ට එරෙහි පියවර ද ඇතුළත්ය. මෑතක දී පළ කළ ඕස්ට්‍රේලියානු ආරක්ෂක කටයුතු පිළිබඳ ධවල පත්‍රිකාවේ විශේෂයෙන්ම සඳහන් කර තිබෙන්නේ සමුද්‍ර ආරක්ෂක සහ මිනිස් ජාවාරම් මැඩලීමේ කටයුතුවලට ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කර ගැනීමට පියවරගත යුතු බවයි.


එමෙන්ම කෘෂිකර්මය, කිරි නිෂ්පාදනය, අධ්‍යාපනය සහ ක්‍රීඩා යන ක්ෂේත‍්‍රයන්හි ද දෙරට අතර සමීප සබඳතාවයක් පවතින අතර, ඒ සඳහා අවබෝධතා ගිවිසුම් ද ඇති කරගෙන තිබේ.


දෙරට අතර වෙළෙඳ කටයුතුවල ද පසුගිය කාලයේ ඉහළ වර්ධනයක් දක්නට ලැබුණි. ජනාධිපතිතුමාගේ මෙම සංචාරයේ දී ප‍්‍රමුඛ අවධානයක් යොමු වන්නේ ඔස්ට්‍රේලියා ආයෝජන මෙරටට ගෙන්වා ගැනීමත්, ශ්‍රී ලංකාවට වාසි සහගත ලෙස ද්විපාර්ශ්වික වෙළෙඳාම වර්ධනය කර ගැනීමත්ය. ඒ අනුව දෙරට අතර ද්විපර්ශ්වික සහයෝගීතාවය වර්ධනය කර ගැනීම සඳහා ගිවිසුම් කිහිපයකට ද ජනාධිපතිතුමාගේ මෙම සංචාරයේදී අත්සන් තැබේ.


රටේ කෘෂිකාර්මික සංවර්ධනය පිළිබඳ ප‍්‍රමුඛ අවධානයක් යොමු කර කටයුතු කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙම සංචාරයේ දී ඕස්ටේලියානු ජාතික විශ්වවිද්‍යාලයේ පොදු රාජ්‍ය මණ්ඩලයේ සහයෝගයෙන් ස්ථාපිත කර ඇති ආහාර ද්‍රව්‍ය පර්යේෂණාගාරය නැරඹීමට ද එක්වීමට නියමිතය.


මෙරට වනාන්තර ඝනත්වය ඉහළ නැංවීම සඳහා පරිසර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා තිබෙන අතර ඒ පිළිබඳ ඔස්ට්‍රේලියාවේ අත්දැකීම් හැදෑරීම සඳහා කැන්බරා හි සුප‍්‍රකට වනෝද්‍යානය නැරඹීමට ද ජනාධිපතිතුමා සිය සංචාරයේදී එක්වනු ඇත.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.