• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජනාධිපති සිරි‍සේන මැතිතුමා ඕස්ට්‍රේලියාවේ නිල සංචාරයක

mithripalasirisenaඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතාගේ ආරාධනයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරි‍සේන මැතිතුමා 2017 මැයි මස 24 සිට 26 යන දිනයන් හී දි ඕස්ට්‍රේලියානු නිල සංචාරයක නියැලේ. දෙරටෙහි රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන්ට වසර 70ක් පිරීම නිමිති කොටගෙන මෙම සංචාරය සිදු කෙරේ. 



මෙම සංචාර‍යේ දී 2017 මැයි මස 25 වැනිදා ජනාධිපති සිරි‍සේන මැතිතුමා, ඕස්ට්‍රේලියානු ආණ්ඩුකාර පීටර් කොස්ග්‍රේව් මහතා සහ ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා සමඟ ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත ය. අග්‍රආණ්ඩුකාරවරයා ජනාධිපතිතුමා වෙනුවෙන් රාජ්‍ය භෝජන සංග්‍රහයක් ද පැවැත්වීමට නියමිත ය. 


ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ටර්න්බුල් මහතා සමඟ හමුවීමෙන් අනතුරු ව , ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර වැඩිදියුණු කළ සහයෝගීතාව පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තැබීමට නියමිත ය. ඕස්ට්‍රේලියානු  න්‍යෂ්ටික විද්‍යා හා තාක්ෂණ ආයතනය හා හඳුනානොගත් රෝග මූලයක් සහිත නිදන්ගත වකුගඩු රෝගය පිටු දැකීම සම්බන්ධ ව ඇති ජනාධිපති කාර්ය සාධක බලකාය අතර, හඳුනානොගත් වකුගඩු වසංගත රෝගයට අදාළ ව සහයෝගීතා වැඩසටහනක් පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට ද නියමිත ය. ඕස්ට්‍රේලියානු භූ විද්‍යා නියෝජිතායතනය(“ජියෝසයන්ස්  ඕස්ට්‍රේලියා) හා ශ්‍රී ලංකා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය අතර සහයෝගිතාව  පිළිබඳ අභිමතාර්ථ ලිපි හුවමාරු කර ගැනීමක් ද සිදු වනු ඇත. 


මෙම සංචාර‍ය අතරතුර දී, ජනාධිපති සිරි‍සේන මැතිතුමා ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු ඇමතිනී, ජුලී බිෂොප්, ආගමන හා දේශසීමා ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය, පීටර් ඩට්න් සහ විපක්ෂ නායක බිල් ෂෝට්න් යන මැති ඇමතිවරුන් සමඟ ද්වීපාර්ශවික හමු පැවැත්වීමට නියමිත ය.


මැයි 26 වන දින ජනාධිපතිතුමා හා සිඩ්නි හි ව්‍යාපාරික ප්‍රජාව අතර උදෑසන භෝජන හමුවක් පැවැත්වීමට නියමිත ය. තව ද, ජනාධිපතිතුමා කැන්බරා සහ සිඩ්නි හි වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවනු ඇත. එසේ ම, ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයේ ජාන තාක්ෂණික, ජෛව පරිවෘත්තීයමය හා ජීව තොරතුරු කේන්ද්‍රය සහ මජුරා කන්ද ආශ්‍රිත ව සූර්ය බලශක්ති ගොවිපළ නිරීක්ෂණයට ද සැලසුම් කොට ඇත.


ජනාධිපති සිරි‍සේන මැතිතුමා සමඟින් සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය, ජෝන් අමරතුංග, විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය, ආචාර්ය හර්ෂ ද සිල්වා, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය, අජිත් පී. පෙරේරා යන මැති ඇමතිවරුන්ගෙන්  සැදුම්ලත් නියෝජිත කණ්ඩායමක් මේ සංචාරය සඳහා එක්ව ඇත.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.