• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සත්‍යයට වඩා වේගයෙන් අසත්‍යය පැතිර යන බැවින් මාතෘභූමියට එරෙහි බොරු ප‍්‍රචාරයන්ට රැවටෙන්න එපා

He news 2017 5 26 22බලයේ සිටි පිරිස නැවත බලයට ගෙන ඒමට අවශ්‍යව ඇතැමුන් මාතෘ භූමියට එරෙහිව විවිධ අසත්‍ය ප‍්‍රචාර පතුරවමින් සිටින බව ජනාධිපතිතුමා පවසයි.



සත්‍යයට වඩා වේගයෙන් අසත්‍යය පැතිර යන බැවින් එම බොරු ප‍්‍රචාරයන්ට නොරැවටෙන ලෙස තමා ලොව පුරා සිටින සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටින බවද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.



ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (25) පස්වරුවේ කැන්බරා නුවර දී ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සමඟ හමුවකට එක්වෙමිනි. වෘත්තිකයින්, ව්‍යාපාරික ප‍්‍රජාව, විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු විවිධ ක්ෂේත‍්‍රවල කටයුතු කරන ශ්‍රී ලාංකිකයින් මෙම හමුවට එක්ව සිටියහ.


 
එහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ නව ආණ්ඩුවක් බලයට පත්කර ගනිමින් ශ්‍රී ලාංකීය ජනතාව තැබූ අපේක්ෂා උපරිමයෙන් මල්ඵල ගැන්වීමට තම රජය කැපවී සිටින බවයි.


නව රජය බලයට පත් කර ගනිමින් රටේ ජනතාව අපේක්ෂා කළේ නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය බව ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා රට තුළ නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීමට රජය කැපවී සිටින බව කියා සිටියේය.


එමෙන්ම රටේ ජනතාවගේ ජීවිත සමෘද්ධිමත් කිරීම උදෙසා පැහැදිලි සංවර්ධන වැඩපිළිවෙළක් මෙන්ම රටේ සියලු ජනතාව අතර සංහිඳියාව තහවුරු කරමින් යළි රට තුළ යුද්ධයක් ඇති නොවන සේ ස්ථීර සාර සාමයක් ගොඩනැගීමට ද රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපතිතුමා පැවසීය.


මේ අතරතුර අන්තවාදී පිරිස් මාතෘ භූමියට එරෙහිව විවිධ අසත්‍ය ප‍්‍රචාරයන් පතුරවමින් සිටින අතර ඔවුන්ගේ අපේක්ෂාව පවතින රජය අප‍්‍රසාදයට පත් කිරීමත්, බලය අහිමිවූවන් නැවත බලයට ගෙන ඒමත් බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.


සාමය ඇති කිරීම සඳහා රජය සෑම තීන්දු තීරණයක්ම ගන්නා අතර කුමන පක්ෂයකට, ආගමකට හෝ ජාතියකට අයත් වුවද සාමය කඩ කරන්නන් වෙනුවෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට රජය පසුබට නොවන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.


කුමන අභියෝග හමුවේ වුවද ජනතාව වෙනුවෙන් වූ රජයේ ගමන ඉදිරියටම යන බවද ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා මාතෘ භූමියට ආදරය කරන සියලු ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ සහය ඊට අපේක්ෂා කරන බව කියා සිටියේය.


ශ්‍රී ලංකා රාජ්‍ය නායකයෙකුට ඔස්ට්‍රේලියා රජයෙන් රාජ්‍ය සංචාරයක් සඳහා ලැබුණු ප‍්‍රථම නිල ආරාධනය තමා වෙත හිමිවීම පිළිබඳ මෙහිදී සිය සතුට පළ කළ ජනාධිපතිතුමා මෙම ආරාධනය හිමිවූයේ පසුගිය වසර දෙක හමාර තුළ තම රජයේ පැහැදිලි වැඩපිළිවෙළ නිසා බවද කියා සිටියේය.


අද ශ්‍රී ලංකාවට කිසිඳු සතුරු රාජ්‍යයක් නොමැති අතර ලොව ප‍්‍රබල රටවල සිට සියලු රටවල සහය ශ්‍රී ලංකාවට හිමිව තිබෙන බවත්, සිය ඔස්ට්‍රේලියා රාජ්‍ය සංචාරය ද නිම කරමින් තමා නැවත මාතෘ භූමියට යන්නේ රටත්, ජනතාවත් වෙනුවෙන් වූ වටිනා තෑගි භෝග රැසක් සමගින් බව ද කියා සිටියේය.


මෙම හමුවට එක්වූ ජනාධිපතිතුමා ශ‍්‍රී ලාංකිකයින් විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.