• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සියලු ආපදා ස්ථාන වෙත සහන කණ්ඩායම් ළඟා වෙයි

floodඅයහපත් කාලගුණ තත්ත්වය නිසා ඊයේ වන විටත් ළඟාවීමට අපහසුව තිබූ ආපදාවට ලක්වූ ස්ථානවලට අද වන විට ත්‍රිවිධ හමුදා සහ සහන කණ්ඩායම් ළඟාවී ඇත.

 



අදාළ ප්‍රදේශ වෙත යුද හමුදා බලඇණි 15 ක නිලධාරීන් 1500 ක්, විශේෂ පුහුණුවක් ලද නාවික හමුදා සහන කණ්ඩායම් 86 ක  නිලධාරීන් 500කට අධික ප්‍රමාණයක්, ඩිංගි බෝට්ටු 86 ක්ද  ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා සහ ගුවන් සෙබළ කණ්ඩායම් යොදවා තිබේ. මේ අනුව විපතට පත්වූ ජනතාව බේරා ගැනීමේ මෙහෙයුම් ඉතා වේගවත්ව හා කාර්යක්ෂමව සිදුවෙමින් පවතී. මේ වන විට යුද හමුදාව විපතට පත්වූවන් 1854 ක් ද , ගුවන් මෙහෙයුම්වලින් පුද්ගලයින් 26 දෙනෙක් ද, නාවික හමුදාව පුද්ගලයින් 2047 ක් ද මුදා ගැනීමට සමත්වී ඇත.


දැනට ජලයෙන් කොටුවී සිටින පිරිස් බේරාගැනීම සඳහා ජීවිත ආරක්ෂක කබා 10000 ක් ලබා දීමට කඩිනමින් පියවර ගැනීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා උපදෙස් ලබා දී තිබේ. එමෙන්ම විපතට පත්වූවන්ට අවශ්‍ය සහන සැලසීම සඳහා ප්‍රතිපාදන ලබා ගැනීමට රජයේ චක්‍රලේඛ කිසිදු බාධාවක් කර නොගෙන හදිසි අවස්ථාවක් සේ සලකා කටයුතු කරන ලෙසද ජනාධිපතිතුමා විසින් උපදෙස් ලබා දී ඇත. ආපදාවෙන් මියගිය පුද්ගලයින් සහ හානි වූ නිවාස වෙනුවෙන් වන්දි ලබා දීමටත්, නිවාසවල විනාශ වූ භාණ්ඩ සඳහා අලාභය ලබා දීමටත්, මියගිය අයගේ අවසන් කටයුතු රජයේ වියදමින් සිදුකිරීමට මේවන විටත් උපදෙස් දී තිබේ.


මේවන විට ආපදාවට පත්වූවන්ට සහන සැලසීම වෙනුවෙන් රුපියල් මිලියන 150 ක මුදලක් මූලිකව ලබා දී ඇති අතර අවශ්‍ය පරිදි ඕනෑම අවස්ථාවක ඒවෙනුවෙන් අමතර මුදල් ද වෙන් කිරීමට රජය තීරණය කර ඇත. විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඇමරිකානු ඩොලර් ලක්ෂ එකහමාරක ප්‍රතිපාදන ලබා දීමට ද එකඟතාව පළකර තිබේ.



මේ අතර දැනට විපතට පත්වූවන්ට ලබා දෙන ආධාර රත්මලානේ පිහිටි ගුවන්හමුදා කඳවුරු පරිශ්‍රයට භාර දෙන ලෙසද සියලු දෙනාගෙන් රජය ඉල්ලීමක් කරයි.



ආපදා පවතින දිස්ත්‍රික්ක හතෙහි සිටින රජයේ නිලධාරීන් ප්‍රමාණවත් නොවන්නේ නම් ඒ සඳහා අවශ්‍ය නිලධාරීන් ආසන්න දිස්ත්‍රික්කවලින් අනුයුක්ත කිරීමට කටයුතු කරන ලෙස ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා උපදෙස් ලබා දී ඇත.



ප්‍රදේශයෙන් බැහැර පදිංචි පුද්ලයන් මියගොස් ඇත්නම් ඔවුන්ගේ ඥාතීන් සමඟ සම්බන්ධ වී නිසි ගෞරවය ඇතිව එම මෘත දේහයන් පිළිබඳ අවසන් කටයුතු කරන ලෙසද ප්‍රාදේශීය ලේකම්වරුන්ට රජය උපදෙස් ලබා දී තිබේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.