• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මෙම වසර තුළ අමාත්‍යාංශ ඇතුළු රාජ්‍ය ආයතන සඳහා අලුතින් වාහන ආනයනය නතර කෙරේ

He presidentමෙම වසර තුළ අමාත්‍යාංශ ඇතුළු රාජ්‍ය ආයතන සඳහා අලුතින් වාහන ආනයනය නතර කිරීමට තීරණය කළ බව ජනපති පවසයි.
මෙම වසර තුළ රජයේ අමාත්‍යාංශ ඇතුළු සියලූ රාජ්‍ය ආයතන සඳහා අලූතින් වාහන ආනයනය සම්පූර්ණයෙන් නතර කිරීමට තීරණය කළ බව ජනාධිපතිතුමා පවසයි.
ගංවතුරෙන් සහ නායයාම්වලින් විනාශයට පත්වූ සියලූ නිවාස නැවත ඉදිකරදීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාවට නංවන ලෙස ද ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් දුන්නේය.
ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව සමඟ ඊයේ (30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදී ය.
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය නිසා සිදු වූ ගංවතුර සහ නායයාම් හේතුවෙන් සම්පූර්ණයෙන් විනාශයට පත් වූ නිවස 640ක් ඉදිකරදීම සඳහා රජය කටයුතු කරන අතර අර්ධ හානි සිදු වු නිවාස 5329ක් ප‍්‍රතිසංස්කරණ කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවේ, සිවිල් ආරක්ෂක බලකායේ සහ නිවාස සංවර්ධන අධිකාරියේ මෙන්ම වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ සහයෝගයෙන් කටයුතු සිදුකරන බව ද මෙහිදී දැනුම් දෙනු ලැබීය.
නායයාම් සහ ගංවතුර හේතුවෙන් විනාශයට පත්ව ඇති සියලූ ම මාර්ග, පාසල්, විදුලි සැපයුුම් හා සෞඛ්‍ය සේවා ආයතන පිළිබඳ පූර්ණ වාර්තාවක් තමන් වෙත කඩිනමින් ලබාදෙන ලෙස ද මෙහිදී නිලධාරින්ට උපදෙස් දුන් ජනාධිපතිතුමා ඒ පිළිබඳ කඩිනම් පියවර ගන්නා බව සඳහන් කළේය.
විශේෂයෙන්ම නව නිවාස ඉදිකරදීමේදී නායයාමේ තර්ජනයට ලක්ව ඇති අවදානම් කලාපවලින් පිටත ප‍්‍රදේශවල ඉඩම් හඳුනාගෙන එම නිවාස ඉදිකරදීමටත්, කිසිදු අවස්ථාවක රක්ෂිත කලාපවල එම නැවත පදිංචි කිරීම් සිදු නොකරන ලෙසත් මෙහිදී නිලධාරින්ට උපදෙස් දුන් ජනාධිපතිතුමා තවදුරටත් අනවසර පදිංචිකරුවන් බවට කිසිවෙකු පත් නොවන අයුරින් මෙම කටයුතු සිදු කරන ලෙස ද උපදෙස් දුන්නේය.
මේ පිළිබඳ ගන්නා සියලූ තීන්දු තීරණ රටේ යහපත සඳහා ගන්නා ස්ථීරසාර ප‍්‍රතිපත්තිමය තීන්දු තීරණ වන අතර කුමන ආකාරයේ හෝ දේශපාලන අරමුණු හා ඡන්ද ඉලක්ක කර ගනිමින් එම තීරණ නොගත යුතු බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.


ප‍්‍රතිපත්තිමය වශයෙන් ගතයුතු තීන්දු තීරණ ඡන්ද ඉලක්ක කර ගනිමින් සහ දේශපාලන අරමුණු මත සිදුකිරීම තුළින් මෙවැනි අනතුරුදායක තත්ත්වයකට රටටත්, ජනතාවටත් මුහුණදීමට සිදුව ඇති බවද ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය.


මිය ගිය සියලූදෙනා වෙත වන්දි මුදල් ලබාදීමට රජය තීරණය කර තිබෙන අතර එහිදී ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ වර්තමාන රජය බලයට පත්වනතුරු ආපදාවකින් මිය ගිය පුද්ගලයෙකු වෙනුවෙන් රජය ලබාදී ඇත්තේ රුපියල් 15,000ක් පමණක් වන අතර වර්තමාන රජය මගින් එය රුපියල් ලක්ෂය දක්වා ඉහළ නංවා ඇති බවයි.


මියගිය අයගේ පවුල් සඳහා ලබාදිය හැකි විශේෂ සහන පිළිබඳ ව සොයා බලන ලෙස ද ජනාධිපතිතුමා මෙහිදී නිලධාරින්ට උපදෙස් දුන්නේය.


මෙවර ගංවතුරෙන් විපතට පත්වූ විශාල පිරිසක් 2003 වසරේදී ද මෙවන්ම ආපදා තත්ත්වකට මුහුණ දී තිබෙන අතර, මෙවැනි තර්ජනයන්ට මුහුණදිය හැකි ප‍්‍රදේශවල දීර්ඝකාලීනව පදිංචි සිටින මෙම ජනතාව දැනුවත් කිරීම සඳහා උපදේශන සහ මාර්ගෝපදේශන වැඩසටහන් හදුන්වාදෙමින් ඉදිරියේදී සිදුවිය හැකි ජීවිත හානි වළක්වා ගැනීමට කටයුතු කිරීම පිළිබඳ ව ද මෙහිදී ජනාධිපතිතුමා අදාළ නිලධාරින්ගේ අවධානය යොමු කළේය.


මෙහිදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප‍්‍රකාශ කළේ ගංවතුර සහ නායයාම් හේතුවෙන් පීඩාවට පත් සියලූ පාසල් සිසුන් සඳහා අවශ්‍ය පොත් පත්, ඇඳුම් කට්ටල, සපත්තු ඇතුළු අනෙකුත් අත්‍යාවශ්‍ය උපකරණ ලබාදීමේ වැඩසටහනක් මේ වන විට ක්‍රියාත්මක කර ඇති බවයි.


අස්ථානගත වී ඇති අධ්‍යාපන සහතික විභාග දෙපාර්තමේන්තුව හරහා නොමිලේ ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකරන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.


විදුලිබල හා බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අදහස් දක්වමින් ප‍්‍රකාශ කළේ හානි වූ නිවාස සඳහා විදුලි සැපයුම ලබාදීම කඩිනම් කරන අතර, හානි වූ මීටර් සඳහා කිසිදු අය කිරීමක් සිදු නොකිරීමටත්, හිඟ බිල්පත් ගෙවීම සඳහා මාස 06 ක සහන කාලයක් ලබාදීමටත් තීරණය කර තිබෙන බවයි.


මැති ඇමතිවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරින් සහ ආරක්ෂක අංශ ප‍්‍රධානින් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.