• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

රත්මලාන දුම්රිය වැඩපළෙන් වසරකට රුපියල් මිලියන 150ක දුම්රිය අළුත්වැඩියාවක්

hon nimalsirila de silwaවසරකට රුපියල් මිලියන 150 ක පමණ අළුත්වැඩියාවන් සිදු කරනු ලබන රත්මලාන දුම්රිය යාන්ත්‍රික වැඩපළෙන්, අළුත්වැඩියාවන් සිදු කළ මැදිරි 06 කින් යුත් බලවේග කට්ටලයක් සහ එන්ජින් 02 ක් ධාවන කටයුතුවලට මුදවා හැරීම ජුනි මස 01 (අද) වෙනි දින පෙරවරුවේ සිදු කෙරිණ.

 



මෙම එක් දුම්රිය එන්ජිමක් අළුත්වැඩියා කටයුතු සඳහා රුපියල් මිලියන 10 ක් පමණ වැයවී ඇති අතර බලවේග කට්ටලය අළුත්වැඩියාව සඳහා රුපියල් මිලියන 50 ක පමණ මුදලක් වැයවු බව යාන්ත්‍රික බළධාරීන් පවසයි.


බ්‍රිතාන්‍ය පාලන සමයේ මෙම යාන්ත්‍රික වැඩපළ ආරම්භ කර ඇති අතර, මේ වන විට සේවක සංඛ්‍යාව 3000ක් පමණ සේවයේ යෙදී සිටී. කාර්මික ඉංජිනේරුවන්, විදුලි ඉංජිනේරුවන්, කාර්මික ශිල්පීන්, තාක්ෂණික ශිල්පීන්, වෑද්දුම්කරුවන්, කම්කරුවන් මෙම සේවක සංඛ්‍යාවට ඇතුළත් වේ.



සාමාන්‍ය වශයෙන් වසරකට දුම්රිය එන්ජින් 40 ක් පූර්ණ වශයෙන් අළුත්වැඩියාවන් සිදු කරනු ලබන අතර මැදිරි 150 ක් පමණ අළුත්වැඩියාවන් සිදු කරනු ලබන බව අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එම්.අබේවික්‍රම මහතා පැවසීය.


මෙම අළුත්වැඩියාවන් රත්මලාන යාන්ත්‍රික ඉංජිනේරු ආයතනය තුළදීම සිදු කිරීම හේතුවෙන් මැදිරි හා එන්ජින් ආනයනයට වැයවන විශාල විදේශ විනිමය ප්‍රමාණයක්ද ඉතිරි කර ගැනීමට හැකිවන බවද එස්.එම්.අබේවික්‍රම මහතා වැඩිදුරටත් පැවසීය.


මෙම දුම්රිය මැදිරි හා දුම්රිය එන්ජින් මුදා හැරීමේ අවස්ථාව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර අමාත්‍යවරයා අළුත්වැඩියා කටයුතු සිදු කරන අයුරුද නිරීක්ෂණය කළේය.


මෙම අවස්ථාවේදී අදහස් දැක්වු අමාත්‍යවරයා :


මෙම අළුත්වැඩියා කටයුතු සිදු කිරීම සඳහා රත්මලාන දුම්රිය යාන්ත්‍රික වැඩපළෙහි සියලුම නිළධාරීන්ගේ හා සේවකයින්ගේ කැපවීම අතිශය ප්‍රශංසනීයයි. ඒ පිළිබඳව අමාත්‍යවරයා වශයෙන් සහ මුලු මහත් ජනතාව වෙනුවෙන් ඔබලාට ස්තූතිය පුද කරනවා. මෙම යාන්ත්‍රික ඉංජිනේරු අංශය, දුම්රිය දෙපාර්තමේන්තුවේ හදවත බඳුයි. අද ලෝකයේ පවතින නවීන තාක්ෂණයත් සමඟ ගැටෙමින් තරඟ කරමින් ඉදිරියට යන්න මේ වැඩපළේ සිටින කාර්මිකයින් සමත් වෙලා තියෙනවා. ශ්‍රී ලාංකිකයින් වශයෙන් අපිට එය ආඩම්බරයක්.


දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ සිට පහළ කම්කරුවා දක්වා මෙහි සිටින සේවකයින්ට මෙම ගෞරවය හිමිවිය යුතුයි. මෙය සියලු දෙනාගේ සාමුහික ප්‍රයත්නයක්. මෙම කර්මාන්තශාලාව තුළ ප්‍රගතිය ඇති කර ගැනීමට හැකිවී තිබෙන්නේ සියලු දෙනාගේ කැපවීම නිසයි.


තවදුරටත් කරුණු දක්වමින් අමාත්‍යවරයා :
 මේ දුම්රිය දෙපාර්තමේන්තුවේ කරදරයක් නැති එකම අංශය තමයි, මේ යාන්ත්‍රික ඉංජිනේරු කර්මාන්තශාලාව. හොස්ස ළගින් මැස්ස යනකොට වර්ජනය කරන දුම්රිය දෙපාර්තමේන්තුව තුල විවිධ දුෂ්කරතා මැද කිසිම වෘත්තිය සමිති ඉල්ලීමක්, බලපෑමක් නොකර තම රාජකාරිය නිසි ලෙස ඉටුකරන ඔබලාට මාගේ ප්‍රනාමය පිරිනැමීමමටද මෙය අවස්ථාවක් කර ගන්නවා.


එමෙන්ම අද මේ අළුත්වැඩියා කළ දුම්රිය බලවේග කට්ටලය හෙට සිට කැළණිවැලි දුම්රිය මාර්ගයේ මගී ප්‍රවාහන කටයුතු සඳහා යෙදවීමට කටයුතු කරනවා. මේ වන විට රට තුළ විශාල ස්වභාවික ව්‍යසනයකට ලක්වෙලා තියෙනවා. මේ වෙලාවේ අපි සියලු දෙනා එකට එකතුවෙලා කටයුතු කළ යුතු යැයි ද ප්‍රකාශ කර සිටියේය.


මෙම අවස්ථාවට දුම්රිය සාමාන්‍යාධිකාරී බී.ඒ.පී.ආරියරත්න මහතා ඇතුළු නිළධාරීන් සහභාගි වුහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.