• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ආපදාවට ලක්වූ සියලු දිස්ත්‍රික්ක එම ව්‍යසනයන්ගෙන් ගලවා ගැනීම සඳහා ඉදිරි පියවර ගන්නා බව ජනපති පවසයි

HEගංවතුරෙන් සහ නායයාමෙන් ආපදාවට ලක්වූ සියලු දිස්ත්‍රික්ක ඉදිරියේදී එම තත්ත්වයන්ගෙන් මුදාගැනීම සඳහා දේශීය සහ විදේශීය විශේෂඥයින්ගේ උපදෙස් පරිදි සකස් කෙරෙන සැලසුම් ක්‍රියාත්මක කිරීමට ඉදිරි පියවර ගන්නා බව ජනාධිපතිතුමා පැවසීය.



ඉදිරි අමාත්‍ය මණ්ඩල රැස්වීම්වලදී මෙන්ම සති පතා රැස්වන ජාතික ආපදා කළමනාකරණ සභාවේදී ඒ පිළිබඳ සාකච්ඡා කරන බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.


ජනාධිපති  මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (05) පස්වරුවේ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති, හදිසි ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම පිළිබඳ විශේෂ සාකච්ඡාව අමතමිනි.‍


ගංවතුර සහ නායයාම් හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ විපතට පත් ජනතාවට සහන සැලසීමට ගෙන යන වැඩපිළිවෙළ සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.


විනාශයට පත් නිවාස වෙනුවට නව නිවාස ඉදිකරදීම සඳහා අවශ්‍ය ඉඩම් හඳුනාගැනීම් කඩිනමින් නිම කරන ලෙස මෙහිදී නිලධාරින්ට උපදෙස් දුන් ජනාධිපතිතුමා අවශ්‍ය ඉඩම් පවරා ගැනීම් පිළිබඳ කඩිනම් වාර්තාවක් ලබාදෙන ලෙස ද උපදෙස් දුන්නේය.



එමෙන්ම මෙම ඉදිකරන සියලු නිවාස එක් සැලැස්මක් යටතේ ඉදිකරීමටද උපදෙස් දුන් ජනාධිපතිතුමා විදේශ රටවලින් ලැබෙන සියලු ආධාර එක් ගිණුමකට යොමුකර එම නිවාස ඉදිකරදීමේ වැඩසටහන සඳහා යොදා ගැනීමට ද උපදෙස් දුන්නේය.


නිවාස ඉදිකරදීමේ වැඩසටහන සඳහා සහය දැක්වීමට රටවල් රැසක් කැමැත්ත පළ කර තිබෙන අතර ඒ සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිතුමා පැවසීය.


එමෙන්ම ආපදා තත්ත්වය හේතුවෙන් දෙමව්පියන් අහිමි වූ දරුවන් පිළිබඳ වාර්තාවක් තමා වෙත ලබාදෙන ලෙස ද ජනාධිපතිතුමා මෙහිදී නිලධාරින්ට උපදෙස් දුන්නේය.


ගංවතුර ආපදාවට ලක්වන සියලු ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ප‍්‍රදේශීය ලේකම් කාර්යාල සඳහා බෝට්ටු 02 බැගින් ලබාදීමටද උපදෙස් දුන් ජනාධිපතිතුමා ගංවතුරට හසු වූ නිවාස සුද්ධ පවිත‍්‍ර කිරීමේ කටයුතු සඳහා ප‍්‍රදේශීය ලේකම් කාර්යාලවල හා පළාත් පාලන ආයතනවල ජල බවුසර් යෙදවීමට ද නිලධාරින්ට දැනුම් දුන්නේය.


ආපදාවට ලක්වූ ප‍්‍රදේශවල ජනතාවගේ ජීවනෝපායමාර්ග නගා සිටුවීම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් අග‍්‍රාමාත්‍ය කාර්යාලය හරහා සැලසුම් කර තිබෙන අතර එම කටයුතු ඉදිරියේදී ක්‍රියාත්මක කෙරෙනු ඇති බව ජනාධිපතිතුමා සඳහන් කළේය.


අමාත්‍යවරුන් වන වජිර අබේවර්ධන. මංගල සමරවීර, සාගල රත්නායක, රංජිත් සියඹලාපිටිය, රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බුද්ධික පතිරණ, ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් ඇතුළු දිස්ත්‍රික්කයේ දේශපාලන නියෝජිතයින් රැසක් ද, මාතර දිස්ත්‍රික් ලේකම් ප‍්‍රදීප් රත්නායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින්, ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක අංශ ප‍්‍රධානින් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.