• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

දඩමුදල් ගෙවාගත නොහැකිව බන්ධනාගාරගතවන රැඳවියන් වෙනුවෙන් ඉදිරියේදී ප‍්‍රතිපත්තිමය තීන්දුවකට

He 2017 06 14 4 1දඩමුදල් ගෙවාගත නොහැකිව බන්ධනාගාරගතවන රැඳවියන් වෙනුවෙන් ඉදිරියේදී ප‍්‍රතිපත්තිමය තීන්දුවකට එළැඹෙන බව ජනපති පවසයි.



සුළු වරදවල් සඳහා වැරදිකරුවන් වී නියම වූ දඩමුදල් ගෙවා ගත නොහැකිවීම නිසා බන්ධනාගාරගතවන රැඳවියන් වෙනුවෙන් ඉදිරියේදී ප‍්‍රතිපත්තිමය තීන්දුවකට එළැඹීම පිළිබඳ අදාළ පාර්ශවයන් සමග සාකච්ඡා පවත්වන බව ජනාධිපතිතුමා පවසයි.


2015 වසරේදී බන්ධනාගාරගතවූ රැඳවියන්ගෙන් 43.7% ක් ම බන්ධනාගාරගත වී ඇත්තේ නියම වූ දඩ මුදල ගෙවා ගත නොහැකි වීම නිසා බවද පෙන්වා දුන් ජනාධිපතිතුමා එය මහත් ඛේදවාචකයක් බවත් පවතින නීති රීති සහ ප‍්‍රතිපත්ති මෙන්ම විවිධ සමාජ සංවිධාන හරහා ඒ සඳහා කඩිනම් විසඳුමක් අත්‍යාවශ්‍ය බවත් සඳහන් කළේය.


ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ශී‍්‍ර ලංකා සිරකරු සුබසාධන සංගමයට වසර 100ක් සපිරීම නිමිත්තෙන් ඊයේ (13) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති උත්සවය අමතමිනි.


මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ සිරකරුවන් නොමැති සමාජයක් ගොඩනැගීමට සියලුදෙනා කැපවිය යුතු බවයි.


බන්ධනාගාරගතවූවන් පිළිබඳව මානුෂිකව බලමින් ඔවුන් එම තත්ත්වයට පත්වීමට හේතුවූ සමාජ තත්ත්වය වෙනස් කිරීමට කටයුතු කිරීම සියලුදෙනාගේ වගකීමක් බවද ජනාධිපතිතුමා සඳහන් කළේය.


බන්ධනාගාරගතවූවන් සහ බන්ධනාගාරවල පහසුකම් සම්බන්ධයෙන් දැනට පවතින ක‍්‍රමවේදයන් ඉක්මවා වඩාත් මානූෂිය වූ වැඩපිළිවෙළක අවශ්‍යතාවය මතුව ඇති බව ද මෙහිදී ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා ඒ පිළිබඳ ඉදිරියේදී රජයේ අවධානය යොමු කරමින් කටයුතු කරන බවද කියා සිටියේය.


බන්ධනාගාරගතවූවන්ගෙන් 46.4% ක් ම මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත වී ඇති බවට වාර්තා පෙන්වා දෙන අතර එය 2011 වසරට සාපේක්ෂව පැහැදිලි වැඩිවීමක් බව ද පෙන්වා දුන් ජනාධිපතිතුමා එයින් පෙනී යන්නේ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක වීම වඩා කාර්යක්ෂම වී ඇති ආකාරය බව ද සඳහන් කළේය.


කෙසේ වෙතත් මතින් තොර සමාජයක් ගොඩනැගීම සඳහා මීට වඩා කි‍්‍රයාශීලී වැඩපිළිවෙළක අවශ්‍යතාවය මතුව ඇති බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.


රැඳවියන්ගේ දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප‍්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණු අතර සිරකරු සුබසාධන සංගමය විසින් ජනාධිපතිතුමා වෙත ද සමරු තිළිණයක් පිළිගැන්වීය.


බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ හා පුනරුත්ථාපන අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන්, සිරකරු සුබසාධන සංගමයේ සභාපති පී.ඒ. කිරිවන්දෙනිය, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච්.එම්.එන්.ජී. ධනසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.