• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

අමාත්‍ය මණ්ඩලයෙන් ප්‍රකාශයක්

gayantha karunathilakeනැවත කිසිකලෙක ගැටුම්කාරී අතීතයකට යාමට ඉඩනොතබන බවට රජය සහතික කර තිබෙන අතර මේ පිළිබඳව අමාත්‍ය මණ්ඩලය විසින් සකස් කොට ඇති ප්‍රකාශය අද (14) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ




මාධ්‍ය හමුවේදී සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ඉඩම් හා පාර්ලිමේන්තුව ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලදී.


එම සම්පූර්ණ ප්‍රකාශය පහත සඳහන් වේ.

"ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ පවතින ජාතික සම්මුතිවාදී  රජය, 2015 ජනවාරි සහ අගෝස්තු  මැතිවරණවලදී ලැබී ඇති ජනවරම් ප්‍රකාරව  ශ්‍රී ලාංකීය  ජාතිය නැවත කිසි කලෙකත්  ගැටුම්කාරී අතීතයට නොපිවිසෙන බවටත්, ඒ වෙනුවට සංහිඳියාව, තිරසාර සාමය සහ ආර්ථික සමෘද්ධිය ළඟා කරගැනීම උදෙසා කැපවන බවත් සහතික කරයි.  වර්ගවාදී, ජනවාර්ගික සහ ආගමික වෛරයට, ප්‍රචණ්ඩත්වයට සහ දඬුවම් නොලබා වැරදි කිරීමට  අප ගොඩ නැගීමට උත්සාහ කරන සමාජය තුළ කිසිදු ඉඩක් නොමැත.



මේ සන්දර්භය තුළ ආගමික ස්ථාන, කඩසාප්පු හා ව්‍යාපාර ආයතන සහ නිවාස ඉලක්ක කරගෙන මෑතකදී ඇතිවූ ප්‍රචණ්ඩ  සිදුවීම් පිළිබඳව අපගේ දැඩි අවධානය යොමු කර ඇත්තෙමු. ප්‍රචණ්ඩත්වය වැපිරීමේ අරමුණින් ඇතැම් පුද්ගලයන් විසින් සිදුකරන වෛරී ප්‍රකාශ ඇතුළු මෙම හිංසාකාරී ක්‍රියා, අපි තරයේ හෙළා දකිමු.


මෙම සිදුවීම් හේතුවෙන්, පුද්ගලයන්ට සිදුවී ඇති දේපල අලාභ හානි, ජීවනෝපායන් අහිමිවීම සහ මානසික අසහනය මෙන්ම බිය ගැන අපි අතිශයින් කණගාටු වෙමු.


කූට අරමුණු සහිත පුද්ගලයන් සහ කණ්ඩායම් විසින් සහෝදර පුරවැසියන්ට එරෙහිව අපහාසාත්මකව, අවමන් සහගතව  හා ප්‍රචණ්ඩත්වය වපුරමින් සිදු කරන වෛරී ප්‍රකාශ හා  ක්‍රියා වලට ශ්‍රී ලාංකීය සමාජය තුළ කිසිදු තැනක් නොමැති බව, අපි ස්ථිර ලෙස කියා සිටිමු.


සංහිඳියාව, සාමකාමී සහජීවනය සහ නීතියේ ආධිපත්‍යය සඳහා රජයේ කැපවීම යළි තහවුරු කරන අතරම, ඕනෑම ආගමික හා ජනවාර්ගික කොටසක් ඉලක්ක කරගෙන ප්‍රචණ්ඩ ක්‍රියා අවුළුවන්නන් හා වෛරී ප්‍රකාශ සිදු කරන්නන්ට එරෙහිව, වහාම රටේ නීතිය අනුව කටයුතු කිරීමට පියවර ගන්නා ලෙස නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට  අපි උපදෙස් දී ඇත්තෙමු. ප්‍රචණ්ඩත්වය වපුරන සහ හිංසනයේ නිරතවන සියලු පුද්ගලයන් හා කණ්ඩායම් වලට විරුද්ධව නොපමාව නීති ප්‍රකාරව දැඩි පියවර ගත යුතු ය. වරදකරුවන්ගේ සමාජ තත්වය, ජනවාර්ගික හෝ ආගමික පසුබිම හෝ දේශපාලන පක්ෂපාතීත්වය නොතකා නීතිය ක්‍රියාත්මක විය යුතු ය. එසේම සිදු කරන ලද ම්ලේච්ඡ ක්‍රියා  සම්බන්ධයෙන් වගකිව යුතු අයට එරෙහිව ක්‍රියාමාර්ග කඩිනම් කරන මෙන් අපි නීතිය ක්‍රියාත්මක කිරන බලධාරීන්ට සහ නීතිපතිවරයාට  උපදෙස් දෙමු. මන්දයත් වැරදි ක්‍රියාවන්ට දඩුවම් නොදී සිටීම හරහා අප රට නැවත යුද්ධයක් වෙත තල්ලුවීමේ භයානක අවදානමට මුහුණ දීමේ අනතුරක් පවතින බැවිනි.


අප රටේ අතලොස්සක් වූ පිරිසකගේ වෛරය පැතිරවීමේ  උත්සාහයන් ව්‍යර්ථ කිරීමට පෙරට පැමිණි හා මේ මොහොතේ සන්සුන්ව  සිටීමේ හා සාමකාමී සහජීවනයේ  වැදගත්කම පෙන්වා දී ඇති සිවිල් සංවිධාන හා ආගමික නායකයන්ට අපි අපගේ නොවක් කෘතවේදීත්වය පළ කරමු.


ගෞතම බුදුන්ගේ  ඉගැන්වීම් වලින් අවධාරණය කෙරෙන්නේ සහජීවනය, සහනශීලිත්වය, ගෞරවය හා කරුණාවයි. “වෛරයෙන් වෛරය නොසංසිඳේ, අවෛරයෙන්ම වෛරය සංසිඳේ” යන  ගෞතම බුදුන්ගේ උතුම් හා නැණවත් වදන් අපට මග පෙන්වන සදාතනික නීතියකි. මේ දේශය, සාමකාමී සහජීවනය, මානව වටිනාකම් ආරක්ෂා කිරීම සහ කලාපයේ වඩාත්ම ප්‍රගතිශීලී ජාතීන්ගෙන්  එකක් ලෙස නැවත ගොඩනැගීම සඳහා අවංක හා වෙහෙස මහන්සි වී වැඩ කිරීම වෙනුවෙන් අවශ්‍ය වන මගපෙන්වීම බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි, සහ ඉස්ලාම් යන ලොව ශ්‍රේෂ්ටම ආගමික සම්ප්‍රදායන් සතරක ඉගැන්වීම් වලින් ආශීර්වාදය ලබා ඇත.


දේශප්‍රේමී පුරවැසියන් ලෙස, ස්ථාවර, සාමකාමී හා ප්‍රගතිශීලී  ජාතියක්ද,  සියලු පුද්ගලයන්ගේ අභිමානය රැකෙන, විවිධත්වය ගරුකෙරෙන, සියලු පුද්ගලයන්ට සමාන පුරවැසියන්ට හිමි අයිතීන් වන නිදහස භුක්ති විඳින්නට  හැකි සමාජයක්ද, ගොඩනැගීමට ඔබට හැකි උපරිම ආකාරයෙන් ඔබගේ රටට  දායකත්වය සපයන  මෙන් අප රටේ බාල, මහළු සියලු පුරවැසියන්ගෙන්  අපි ඉල්ලා සිටිමු.


මෙම අනතුරුදායක එකිනෙකා කෙරෙහි වූ වෛරය  තුරන් කිරීම සඳහාත්,  අප සියලු දෙනා වර්තමානයේ දී හෝ අනාගතයේ දී නැවත වරක් අතීතයේදී මෙන් ගැටුම්කාරී වාතාවරණයකට  රැගෙන යාමට ඉඩ නොදෙන බවට අධිෂ්ටාන කරනු පිණිසත් අප සියලු දෙන එක්සත්ව නැගී සිටිය යුතුය."

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.