• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

තබ්බෝව සංචාරක කලාපය ලබන වසරේදී සංචාරකයින් වෙත විවෘත කිරීමට පියවර

thabbowa2017පුත්තලම තබ්බෝව සංචාරක කලාපය 2018 වසරේදී දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන් විවෘත කිරීම රජයේ බලාපොරොත්තු ව බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.



තබ්බෝව ජලාශය හා තබ්බෝව අභය භූමිය කේන්ද්‍ර කර ගනිමින් මෙම කලාපය ආරම්භ කිරීම රජයේ සැලසුමයි. නීලබැම්ම පරිසර පද්ධතියද මෙම කලාපයට ඇතුලත් කිරීමට පියවර ගෙන තිබේ. 


මෙම ව්‍යාපෘතියට සමඟාමී ව තබ්බෝව ගොවි ජනපදය ඇතුළු ඒ අවට ප‍්‍රදේශ සංවර්ධනය කිරීමට ද සැකසුම් සකස් කර ඇති බව අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ප‍ැවසීය.

 
ඩී. එස් සේනානායක අග‍්‍රාමාත්‍යවරයා විසින් ආරම්භ කරන ලද පළමු ගොවි ජනපදය ලෙස සැලකෙන්නේද තබ්බෝව ගොවි ජනපදයයි. ඩී. එස් සේනානායක අග‍්‍රාමාත්‍යවරයාට ගෞරවයක් ගෙන දීමටද මෙම ව්‍යාපෘතිය මගින් ඉඩ ලැබෙන බවද අමාත්‍යවරයා එහිදී තවදුරටත් පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අදාළ ව්‍යාපෘතිය සැලසුම් කිරීම පිළිබඳ ආණමඩුව පිහිටි පෞද්ගලික කාර්යාලයේදී නිලධාරීන් පිරිසක් සමඟ පසුගියදා පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.


තල්මසුන් ඇතුළු මත්ස්‍යයින් පිළිබඳ අධ්‍යනය කිරීමටත්, පරිසරය හා වන සතුන් පිළිබඳ ගවේෂණය කිරීමටත් අවස්ථාව උදා වීම මගින් තබ්බෝව සංචාරක කලාපය වඩාත් වැදගත් ව්‍යාපෘතියක් බවට පත්වනු ඇති බවට මෙහිදී වැඩිදුරටත් අනාවරණය කෙරිණ. විනෝදාස්වාදය හා වඩාත් සුවපහසු පරිසරයක ආස්වාදය විද ගැනීමටද සංචාරකයින්ට මෙහිදී අවස්ථාව උදාවෙයි.  


මෙම ව්‍යාපෘතියේ විශේෂත්වය වන්නේ පරිසරයට කිසිදු හානියක් සිදු නොවන පරිදි ව්‍යාපෘතිය සැලසුම් කර තිබීමයි. අති දුෂ්කර ප‍්‍රදේශයක් වන ආණමඩුව ඇතුළු පුත්තලම දිස්ත්‍රික්කයේ බොහෝ ප‍්‍රදේශවල ජනතාවගේ ආර්ථිකය සවිබල ගැන්වීමේ ව්‍යාපෘති රැසක්ද මේ යටතේ ක්‍රියාත්මක ය. අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා කියා සිටියේ 2019 වසර වන විට පුත්තලමේ ප‍්‍රදේශ රැසක් පරිසර හිතකාමී ආර්ථික කලාපයක් බවට පත්වනු ඇති බවයි.


කටුනායක ගුවන් තොටුපලේ සිට පැය දෙකක් වැනි කාලයකින් ලගා වීමට ඇති හැකියාව හේතුවෙන් තබ්බෝව සංචාරක කලාපය පිහිටුවීම ඉතා වැදගත් කරුණක් වනු ඇති බවද අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.