• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

රජ රට ජනතාවට සමෘද්ධිමත් ආර්ථිකයක් සමග ඔවුන්ගේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ද ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බව ජනපති පවසයි.

He news 2017 6 22 11රජ රට ජනතාවට සමෘද්ධිමත් ආර්ථිකයක් සමඟ ඔවුන්ගේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ද ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බව ජනපති පවසයි.


රජ රට ජනතාවට සමෘද්ධිමත් ආර්ථිකයක් සමඟ ඔවුන්ගේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ද ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපතිතුමා පැවසීය.


පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පාසල් රැසක නව ගොඩනැගිලි සිසු අයිතියට පැවරීම ඇතුළු සංවර්ධන කටයුතු සඳහා අද (21) එක් වූ ජනාධිපතිතුමා අත්තනකඩවල මහා විද්‍යාලයේ සෞන්දර්ය ඒකකය, කෘෂි විද්‍යාගාරය හා ගෘහ විද්‍යාගාරය සිසු අයිතියට පවරාදීමේ උත්සවය අමතමින් මේ බව ප‍්‍රකාශ කළේය.


රජ රට ජනතාව ජලය ඉල්ලා හැඬු වසර 60ක කදුළු කථාව නිමා කරමින් ඔවුන්ගේ ආර්ථිකය සවිමත් කිරීම සඳහා ලංකාවේ විශාලත ම ජලාශය වූ මොරගහකන්ද – කළු ගඟ ව්‍යාපෘතියේ කටයුතු වත්මන් රජය කි‍්‍රයාත්මක කළ බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා එම ව්‍යාපෘතියත් සමග අද රජ රට ජනතාවගේ සිහින මල් ඵල ගැන්වෙමින් තිබෙන බව ද කියා සිටියේය.


ඉදිරි මහ කන්නයෙන් අනතුරුව යළිත් ජල ගැටලුවක් පිළිබඳ කථා කිරීමට එම ජනතාවට සිදු නොවනු ඇති බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.


අද විශාල ගැටලුවක් බවට පත්ව ඇති කැළි කසළ ගැටලුව පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ කැළි කසළ කළමනාකරණය සහ වර්ගීකරණය පිළිබඳ පාසල් මට්ටමින් දරුවන් දැනුවත් කිරීමේ පුළුල් වැඩසටහනක් කි‍්‍රයාත්මක විය යුතු බවයි.


අද පෙරවරුවේ අත්තනකඩවල මහා විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා එම සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගනු ලැබූහ.


සමරු ඵලකය නිරාවරණය කර නව සෞන්දර්ය ඒකකය, කෘෂි විද්‍යාගාරය සහ ගෘහ විද්‍යාගාරය සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත වෙමින් සිසු දරුවන්ගේ තොරතුරු විමසීය.


විද්‍යාලයේ විශිෂ්ටතා දැක්වූ සිසුන්ට තිළිණ ප‍්‍රදානය කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.


අනතුරුව පොලොන්නරුව ඉරහඳකෙටූවැව මහා විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා එහි නව දෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල ද සිසු අයිතියට පවරා දෙනු ලැබීය.


සෑම දරුවෙකුට ම හොඳ අධ්‍යාපනයක් ලබාදීමේ වගකීම රජය හඳුනාගෙන තිබෙන අතර රටේ කෘෂිකර්මාන්තය දියුණු කරමින් ආර්ථික සමෘද්ධිය ළඟා කර ගැනීමට උගත් පිරිසක් රට තුළ බිහිවිය යුතු බව ජනාධිපතිතුමා එහිදී කියා සිටියේය.


විශිෂ්ටතා දැක්වූ සිසුන්ට තිළිණ ප‍්‍රදානය කිරීම මෙන්ම ආදි ශිෂ්‍යයින් ඇගයීම යටතේ පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් රංජිත් ආරියරත්න, පරිපාලන නිලධාරී තිස්ස දයාරත්න, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රොහිණි සමරසිංහ යන මහත්ම මහත්මීන් වෙත සිහිවටන තිළිණ පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු විය.


බකමූණ, දියබෙදුම, නාමල්වැව ප‍්‍රාථමික විද්‍යාලයේ නව පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරුණේ ද ජනාධිපතිතුමා අතිනි.


මේ අතර ගිරිතලේවැව මහා විද්‍යාලයේ, පුලතිසි සූර්ය මණ්ඩප, රංග ශාලාව සහ දෙමහල් පංති කාමර ගොඩනැගිල්ල ද අද ජනාධිපතිතුමා අතින් සිසු අයිතියට පැවරිණි.


ජනාධිපතිතුමාගේ සම්ප‍්‍රාප්තිය සනිටුහන් කරමින් විද්‍යාල භූමියේ කළුවර පැළයක් රෝපනය කිරීම ද සිදු විය.


විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති පූජ්‍ය ලියන්ගස්වගුරේ දේවානන්ද හිමිපාණන් වහන්සේ වෙත උපහාර තිළිණයක් පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු විය.


ආදි ශිෂ්‍යයින් ද ඇගයීමට ලක් වූ අතර උතුරු මැද පළාත් සභාවේ ප‍්‍රධාන ලේකම් එච්.එම්.සී. බණ්ඩාර, සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ චන්ද්‍රරත්න පල්ලේගම යන මහත්වරුන් වෙත සමරු තිළිණ පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.


එහිදී සිසු දරුවන් ඇමතූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ විභාගය සමත් වූ පමණින් ජීවිත සමත්විය නොහැකි අතර එදිනෙදා සමාජයේ පවතින අභියෝග තේරුම්ගෙන ජීවත්වීමට දරුවන් කටයුතු කළයුතු බවයි.


දරුවන්ගේ සුරක්ෂිතතාවය පිළිබඳ දෙමාපියන් මීට වඩා අවධානයෙන් කටයුතු කිරීමේ වැදගත්කම මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා පසුගියදා සෙල්ෆි ඡායාරූප ලබා ගැනීමේදී සිදුවූ ජීවිත අහිමිවීම් මෙන්ම, ජීවිතයේ අභියෝගවලට මුහුණදිය නොහැකිව තරුණ දරුවන් සිය දිවි නසා ගැනීම් පිළිබඳ කෙරුණු වාර්තා ද කණගාටුවෙන් යුතුව සිහිපත් කළේය.


උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, පළාත් අමාත්‍ය සම්පත් ශ්‍රී නිලන්ත යන මහත්වරුන් ඇතුළු පිරිසක් ජනාධිපතිතුමා සමඟ මෙම අවස්ථාවන්ට එක්ව සිටියහ.


පොලොන්නරුව, අත්තනකඩවල විද්‍යාලයේ නව ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව (2017-06-21)


මීට වසර එකහමාරකට පෙර මේ විද්‍යාලයේ තාක්ෂණික ගොඩනැගිල්ල විවෘත කිරීමට පැමිණි අවස්ථාවේදී විදුහල්පතිතුමන්, ආචාර්ය මණ්ඩලය, දෙමව්පියන් සහ දරුවන් ඉල්ලා සිටි විද්‍යාලයට අත්‍යාවශ්‍යව තිබූ ගොඩනැගිලි කිහිපයක් අපේ යුධ හමුදාව සහ ගුවන් හමුදාව විසින් මේ ඉදිකිරීම් සිදුකොට එහි විවෘත කිරීමේ අවස්ථාවට ඔබ සමග එක්වීමට ලැබීම පිළිබඳ ව මා ඉතාමත් සතුටු වෙනවා.


අමාත්‍යතුමා සඳහන් කළ ආකාරයට දරුවන්ගේ අධ්‍යාපනය සඳහා රටක කරන ආයෝජනය ඒ රටේ අනාගත අභිවෘද්ධිය සඳහා කරන්නාවූ විශිෂ්ටතම දීර්ඝ කාලීන ආයෝජනය ලෙසින් සැලකෙනවා. මේ ඉදිකරන ගොඩනැගිලි වලින් මේ ලබාදෙන සම්පත් වලින් භෞතික සම්පත් සහ මානව සම්පත් වලින් අධ්‍යාපන ක්ෂේත‍්‍රයට අවශ්‍ය සියල්ල ඉටුකිරීම තුළ අපි බලාපොරොත්තු වෙන්නේ උගත්, බුද්ධිමත් ජාතියක් ගොඩනැගීම සඳහා අවශ්‍ය පදනම සැදීමයි.


1940 දශකයේ සිට මේ දක්වා ගත්විට පොලොන්නරු දිස්ත‍්‍රික්කයේ ක‍්‍රියාත්මක සංවර්ධන කාර්යයන්හි විවිධ අංශ පිළිබඳ ව අවධානය යොමු කළ විට පසුගිය කාලසීමාව තුළ අපි ඉතාමත් වේගවත් සංවර්ධන කාර්යයක් ඉටු කර තිබෙනවා. මෙහි කතා කළ දරුවා සඳහන් කළ පරිදි ඩී.එස්.සේනානායක මැතිතුමාගෙන් ආරම්භ වූ පොලොන්නරුවේ ගොවි ජනපද ව්‍යාපාරයේ ගොවි දරුවෙක් විදියට මම ඉතාමත් සතුටු වෙනවා. රට වගේම මේ දිස්ත‍්‍රික්කය සංවර්ධනය කිරීම සඳහා මේ ගන්නාවූ උත්සාහය සහ කැපවීමේදී අවශ්‍ය ප‍්‍රතිඵල අද වගේම හෙට දවසේත් පෙන්වන්නට හැකියාව ලැබේවි කියා විශ්වාස කරනවා.


ඇළහැර බකමූණ ප‍්‍රදේශය ගත්විට මේ දිනවල දරුවනේ ඔබේ දෙමව්පියන් එතරම් සතුටින් නෙවෙයි සිටින්නේ. එයට හේතුව තමයි, මේ කන්නයට අවශ්‍ය ජලය කුඹුරු වැඩ කිරීම සඳහා නොලැබීම නිසා වගා කිරීමට ඇති වූ අපහසුව නිසා ආර්ථික වශයෙන් ඇතිවූ අර්බුදයයි දෙමව්පියන්ගේ සිත්වල තිබෙන්නේ. එම ආර්ථික අපහසුතා දෙමව්පියන්ගේ සිත්වල දැඩි ලෙස කැකෑරෙන අවස්ථාවක දෙමව්පියන්ගේ අරමුණ, අභිප‍්‍රාය වුණේ සැමවිටම තම දරුවන්ගේ අනාගතය සඳහා කළ හැකි සියලු කැපකිරීම් සිදුකිරීමටයි. දරුවන් වෙනුවෙන් මෙවැනි ව්‍යාපෘති ආරම්භ කිරීමට ලැබීම මගින් ඔවුන්ගේ සිත් සනසන්නට හැකිවේ කියා මා විශ්වාස කරනවා.


ඇළහැර ව්‍යාපාරය වගේම පොලොන්නරු දිස්ත‍්‍රික්කය රජරට අනුරාධපුරය සහ ත‍්‍රිකුණාමලය වැනි දිස්ත‍්‍රික්ක ගත්විට තිබූ ජල හිඟය සඳහා ස්ථිරසාර විසඳුමක් අපි මේ වනවිට ලබාදී තිබෙනවා. වසර 60 ක් වැනි කාලයක් රජරට ජනතාවගේ දුක් කඳුළු කතාව වන ජලය ඉල්ලා හැඬු කතාව අවසන් කිරීමටයි ලංකාවේ විශාලතම වාරී ව්‍යාපෘතිය වන මොරගහකන්ද කළු ගඟ ව්‍යාපෘතිය අපි ආරම්භ කළේ. එය ලංකාවේ වැඩිම ජලය එක්වන විශාලතම ජලාශයයි. පරාක‍්‍රම සමුද්‍රය මෙන් හය ගුණයක ධාරිතාවක් ඇති බව සෑම කෙනෙක්ම දන්නවා. පසුගිය දිනවල මේ ප‍්‍රදේශවල දෙමව්පියන්, ගොවි සංවිධානවල නායකයින් මාව හමුවී මේ ප‍්‍රදේශයට අවශ්‍ය ජල ප‍්‍රශ්නය ඉදිරිපත් කළ අවස්ථාවේ මගෙන් කළ ඉල්ලීම වන්නේ, මොරගහකන්දේ දැනට තිබෙන ජලය නිකුත් කරන්න බැරිද කියන ප‍්‍රශ්නය. ඒ අවස්ථාවේ සියලු දෙනාට මම කියා සිටියේ අවුරුදු 50 ක් 60 ක් දුක් වින්දා වගේ මේ අවුරුද්දත් මේ විදියට අපිට ගතකරන්න සිදුවේවි කියා. එයට හේතුව වන්නේ, මොරගහකන්ද ජලාශයේ වේල්ලේ ඉදිකිරීම් කටයුතු අවසන් වී පළමු වතාවටයි ජලය පිරෙව්වේ. එය ඉදිකළ තාක්ෂණික විශේෂඥයින්ට මේ වේල්ලේ, බැම්මේ ප‍්‍රමිතිය එහි තත්ත්වය, ගුණාත්මකභාවය පිළිබඳ ව ඉදිකිරීම් සම්බන්ධයෙන් ඉංජිනේරුවරුන් සෑහීමකට පත්වෙන්නේත් අවසන් නිගමනයකට එළඹෙන්නෙත් ජලාශය සම්පූර්ණයෙන්ම ජලාශයෙන් පිරිලා මාස ගානක් යන විටයි ඒ පිළිබඳව නිසි වාර්තාවක් සහ ඇගයීමක් කළ හැකි වෙන්නේ. ලබන මාස් කන්නේ ඔක්තෝබර් නොවැම්බර් වන විට මහ වැසි ලැබී මොරගහකන්ද කළු ගඟ ජලාශය සම්පූර්ණයෙන්ම පිරී ඉහළ ම ජල ධාරිතාවක් තිබෙන ජලාශය බවට පත්වේවි කියා අපි විශ්වාස කරනවා.


හැට වසරක් වැනි කාලයක් ජලය ඉල්ලා හැඬු ජනතාවගේ කඳුළු කතාව නිමාකරමින් අනාගතයේ ගොවි ජනතාවගේ ආර්ථිකය පිළිබඳ ප‍්‍රශ්නය විසඳන්නට මේ ව්‍යාපෘතියෙන් යෝධ ශක්තියක් ලැබෙනවා. එම ජලාශය සමග මේ ප‍්‍රදේශවල ඉදිවෙන කුඩා වැව් ප‍්‍රතිසංස්කරණය කිරීම් සහ නව ජලාශ, අමුණු හයසීයකට වැඩි සංඛ්‍යාවක් අපේ වාරී පද්ධතියට එක්වෙනවා.


ප‍්‍රතිසංස්කරණය වන පැරණි වැව් ප‍්‍රමාණය 600 කට වැඩියි. ආසියානු සංවර්ධන බැංකුව ඒ වගේම ලෝකයේ වෙනත් රටවල් ගණනාවක් මේ සඳහා උදව් දී තිබෙනවා. කළුගඟ සහ මොරගහකන්ද ජලාශයේ උමග කිලෝමීටර් 21 ක් දිගයි. ඒ සඳහා මීට මාස දෙකකට පෙර කුවේට් රජයෙන් මුදල් ලැබුණා. ඒ අනුව ඒ කටයුතුත් මේ වනවිට ආරම්භ කර තිබෙනවා. එය වාසනාවන්ත ආර්ථිකයකට අවස්ථාවක් ලෙසයි මා විශ්වාස කරන්නේ. ගොවි ජනතාවට තම ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට තිබුණු ප‍්‍රබල ප‍්‍රශ්නය වුනේ ජල ප‍්‍රශ්නයයි. ඇළහැර ව්‍යාපාරය වගේම රජරට ගොවි ජනපද ව්‍යාපාරයටත් ජල ප‍්‍රශ්නය අද ඊයේ ඇතිවූවා නොවේ. ඇතැම් වෙලාවට නියරේ, කමතෙ, කුඹුරේ, ඇළේ ජලය පිළිබඳ ඇතිවූ ගැටුම් වලදී ජීවිත අහිමි වූ අවස්ථා තිබුණා. එවැනි අත්දැකීම් අපට තිබෙනවා.


ඒත් සමග අධ්‍යාපනය පිළිබඳව කතා කිරීමේදී අධ්‍යාපනයට අවශ්‍ය සම්පත් ලබාදෙමින් අනාගතයේ දක්ෂ දරුවන් බිහිකිරීමටයි අපි මෙවැනි ආයෝජනයන් කරන්නේ. මහ ඇමතිතුමා පළාත් සභාවට ලැබෙන මුදල් විශාල වශයෙන් පාසල් සඳහා යොදවනවා. පොළොන්නරු දිස්ත‍්‍රික්කයේ පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ පාසැල් 10 ක අදත් හෙටත් මෙවැනි විවෘත කිරීම් තිබෙනවා.


පාසල් වල තිබෙන අඩුපාඩු සම්පූර්ණ කරන්නේ දරුවනේ ඔබ මේ රටේ යහපත් පුරවැසියන් විදියට ජයග‍්‍රහණය කරවීම සඳහායි. විභාගය සමත් වනවා සේම ඔබ ජීවිතය ද සමත් විය යුතුයි.


අද ඩෙංගු උවදුර පිළිබඳ වැඩි වශයෙන් කතාවෙනවා. උතුරු මැද පළාත ඩෙංගු උවදුර සම්බන්ධයෙන් අවම තත්ත්වයක සිටින්නේ. බස්නාහිර පළාත තමයි ඩෙංගු උවදුර වැඩිම වෙලා තිබෙන්නේ. මෙය අපේ රටේ පමණක් ඇති ප‍්‍රශ්නයක් නෙවෙයි. කලාපය වශයෙන් ගත්විට ඉන්දියාව, පකිස්ථානය, මැලේසියාව, ඉන්දුනීසියාව, සිංගප්පූරුව වැනි රටවලත් තිබෙනවා. මෙක්සිකෝව දක්වා ඩෙංගු ප‍්‍රශ්නය ඉතාමත් ප‍්‍රබලයි. ඩෙංගු මර්දනය සම්බන්ධයෙන් ලෝකයේ ඉහළම වාර්තාව පිහිටෙව්වේ කියුබාවයි. නමුත් කියුබාවටත් පුළුවන් වෙලා නැහැ ඩෙංගු මදුරුවා සම්පූර්ණයෙන් මර්දනය කරන්න.


ඩෙංගු උවදුර තුරන් කිරීමට මහජනතාව සහය දිය යුතුයි . ඒ වෙනුවෙන් කෙරෙන වැඩපිළිවෙල සඳහා රාජ්‍ය නිලධාරීන්ට මහජනතාව සහය දිය යුතුයි.


ඒ වගේම කැළි කසළ ප‍්‍රශ්නය විශාල ගැටළුවක් වෙලා. පාසල් වල විදුහල්පති වරුන් ප‍්‍රමුඛ ගුරුවරුන්ගෙන් මම ඉල්ලා සිටිනවා ඔබ දරුවන්ට අධ්‍යාපනය දෙනවා සේම තම ගේ දොර ඇති කැළි කසළ නිසි ආකාරයට බැහැර කිරීම පිළිබඳව සමාජ දැනුමත් දරුවන්ට ලබා දෙන්න කියලා. පසුගිය මාස කිහිපය තුළ කැළි කසල වර්ගීකරණය පිළිබඳව තීන්දු තීරණ රාශියක් ගනු ලැබුවා. කැළි කසල වර්ගීකරණය කර ප්ලාස්ටික්, වීදුරු, කාඩ්බෝඩ්, දිරන ද්‍රව්‍ය වෙන වෙනම දාලා කැළි කසළ ගෙන යාමට කටයුතු කරන අංශ වලට භාරදෙන්න කියා ජනතාව දැනුවත් කළා.


අද කොළඹ ප‍්‍රමුඛ ප‍්‍රධාන නගර වල කසළ ගොඩගැසී තිබෙනවා. ඇතැම් අය සාර්ථකව ඒ වර්ගීකරණය කරනවා ඇතැම් අය අනවබෝධයෙන් හෝ උවමනාවක් නැතිකමින් කසළ වර්ගීකරණය කරන්නේ නැහැ. එසේ වර්ගීකරණය නොකරන විට කසළ ගෙන යන ඒවා රැගෙන යන්නේ නැහැ. එසේ වීමේ ප‍්‍රථිපලය වන්නේ පාරවල් ඉදිරිපිට, ගෙවල් ඉදිරිපිට කැළි කසළ ගොඩවල් පිරී යාමයි.


විදුහල්පතිතුමා පැවසුවා මේ පාසැලේ අතීතය 1951 ඔක්තෝබර් මාසයේ තමයි පාසල ආරම්භ කර තිබෙන්නේ. පසුව 1952 දී රජයට පවරා ගෙන තිබෙනවා. 1963 දී මහා විද්‍යාලයක් බවට පත්ව තිබෙනවා. මේ පාසලේ අඩුපාඩු අතර ශ‍්‍රවණාගාරයක් නැහැයි කියලා සඳහන් වී තිබුණා. ශ‍්‍රවණාගාරයක් ඉක්මනට සදා දීමට මම කටයුතු කරන බවත් කියන්නට කැමතියි.


විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය මේ දරුවන් වෙනුවෙන් කරන කැපවීම ඉතාමත් අගය කරමින්, ඔබ සියලු දෙනාට සුබවාදී අනාගතයක් ප‍්‍රාර්ථනා කරමින් ඔබෙන් සමුගන්නවා.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.