• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ඩෙංගු රෝගය මහනුවරටත් තර්ජනයක්

dengue fever s5 contractedමෙම වසරේ ජනවාරී මාසයේ සිට මැයි මාසය අවසන් වන විට මහනුවර දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති බව වසංගත රෝග වේදඥ සමීර හේවගේ මහතා පවසයි.



ඒ අනුව ජූනි මාසය වන විට ඩෙංගු රෝගීන්ගේ වාර්තා අනුව මහනුවර දිස්ත්‍රික්කය 8 වැනි ස්ථානයේ පසුවන බව ඔහු වැඩි දුරටත් පෙන්වා දෙන ලදී. ඒ අනුව මෙම වසර තුළ මහනුවර දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගයෙන් 07 දෙනෙක් මිය ගොස් ඇති බව පෙන්වා දුන් වෛද්‍ය හේවගේ මහතා ඩෙංගු මර්ධනයේදී ජනතාවගෙන් ලැබෙන සහාය ඉතා අඩු බව පැවසීය. වෛද්‍ය හේවගේ මහතා මෙම අදහස් පළ කළේ පසුගියදා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ පැවති ඩෙංගු මර්ධන කමිටු රැස්වීමේදීය.


මහනුවර දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝග ව්‍යාප්තිය පිළිබඳ සළකා බලන විට උපකාරක පංති පවත්වන ස්ථාන බොහොමයක ම ඩෙංගු අවධානම් සහිත බව හඳුනා ගත් බව කමිටුවට සහභාගී වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පෙන්වා දුන් අතර, ආගමික ස්ථාන රැසකින්ද ඩෙංගු කීටයන් හමුවූ බව ඔවුන් පෙන්වා දෙන ලදී. 

 
මහනුවර දිස්ත්‍රික්කයේ මහනුවර නගර සභා සීමාව තුළ මැයි මාසය තුළ පමණක් ඩෙංගු රෝගීන් 134 දෙනෙක් වාර්තා වී ඇති අතර, රෝගය ව්‍යාප්ත වන ලෙස පරිසරය පවත්වා ගෙන යන පුද්ගලයන් 115ක් සඳහා රතු නිවේදන  නිකුත් කොට ඇත. ඩෙංගු රෝගය පාලන කිරීමට ලබා දෙන උපදෙස් නොතකන පුද්ගලයන් 39 කට නඩු පවරා ඔවුන් අධිකරණය හමුවේ වරදකරුවන් බවට පත් වී තිබේ. මහනුවර දිස්ත්‍රික්කයේ උඩපළාත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළද රතු නිවේදන 118ක් නිකුත් කොට ඇති අතර, 51 දෙනෙකුට නඩු පවරා තිබේ. ඉන් 49 දෙනෙක් අධිකරණය හමුවේ වරදකරුවන් බවට පත්ව ඇත.


මෙහිදී කරුණු දැක්වූ ඩෙංගු මර්ධන කමිටුවේ සභාපති සහ මධ්‍යම පළාත් සභා ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්ට ඇතුළු ඩෙංගු මර්ධන කටයුතු වලට සහභාගී වන කණ්ඩායම් සදහා දිස්ත්‍රික්කයේ සියලු ම පළාත් පාලන ආයතන උපරිම සහය ලබා දිය යුතු බවට සියලු ම පළාත් පාලන ආයතනවල ලේකම්වරු දැනුම්වත් කළ අතර, ඒ සඳහා අවශ්‍ය මූල්‍යමය ප්‍රතිපාදන නොපැකිළ ව ලබාදීමට කටයුතු යොදා ඇති බවද පෙන්වා දෙන ලදී.  ඩෙංගු මර්ධන කටයුතු රජයේ ආයතන වලට පමණක් පවරා නොසිට පුරවැසියන් ලෙස තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් ඉටු කිරීමට ජනතාව පෙරමුණ ගත යුතු බව පැවසූ ප්‍රධාන අමාත්‍යවරයා එසේ නොවුනොත් මහනුවර දිස්ත්‍රික්කය තව දුරටත් අවධානම් දිස්ත්‍රික්කයක් බවට පත්වීම නොවැළැක්විය හැකි බවද පැවසීය. ඉදිරි කාලයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු බඳවා ගැනීමේ කටයුතුද සිදු කිරීමට කටයුතු යොදා ඇති බව පෙන්වා දුන් ප්‍රධාන අමාත්‍යවරයා ඔවුන් සියල්ලගේ දායකත්වයද මේ සඳහා ලබා ගත හැකි බව පෙන්වා දෙන ලදී.


මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී. හිටිසේකර මහතා ඇතුළු දිස්ත්‍රික්කයේ සියලු ම ප්‍රාදේශීය ලේකම්වරු සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස නියෝජනය කරන වෛද්‍යවරු, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහ පළාත් පාලන ආයතනවල ලේකම්වරු ඇතුළු තවත් පිරිසක් මෙම කමිටුව සඳහා සහභාගී වූහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.