• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

දේශපාලන හස්තයන්ගේ මෙහෙයවීමෙන් සිදුකෙරෙන කුමන්ත‍්‍රණවලට විශ්වවිද්‍යාල සිසුන්ට දොස් නැගීමෙන් පළක් නෑ

He news 2017 6 23රජයේ විශ්ව විද්‍යාලවල වෛද්‍ය සිසුන්ට අසාධාරණයක් සිදු කරමින් ඔවුන්ගේ වරප‍්‍රසාද අහිමිකර, නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීමට රජය කටයුතු කරන බවට අද ඇතැම් පිරිසක් රටට පෙන්විමට උත්සාහ දරන බව ජනාධිපතිතුමා පැවසීය.


ඒ සඳහා විශ්වවිද්‍යාල සිසුන් නොමග යවමින් සිටින බව ද ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා එම අශීලාචාර දේශපාලන හස්තයන්ගේ මෙහෙයවීමෙන් සිදුකෙරෙන කුමන්ත‍්‍රණ පිළිබඳ ව තමා කිසිදු විශ්වවිද්‍යාල සිසුවෙකුට දොස් නොනගන බව ද කියා සිටියේය.


ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (22) පෙරවරුවේ පොලොන්නරුව, ලංකාපුර මහා විද්‍යාලයේ පැවති උත්සවයකදීය.


වසරකට මේ රටේ ලක්ෂ දෙක හමාරක පමණ සිසුන් පිරිසක් උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින අතර ඉන් අනූ දහසක්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලැබුවත්, විශ්වවිද්‍යාල සඳහා බඳවා ගන්නේ විසි පන්දහසක පමණ සුළු පිරිසක් බව ද ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය.


ඉතිරි දරුවන්ගේ උසස් අධ්‍යාපන සිහින මල් ඵල ගැන්වීම වෙනුවෙන් රට තුළ රාජ්‍ය විශ්වවිද්‍යාල සේම ඉහළ ප‍්‍රමිතියකින් යුත් පෞද්ගලික විශ්වවිද්‍යාල ද බිහිවිය යුතු බව පැවසූ ජනාධිපතිතුමා රටේ කිසිදු දරුවෙකුගේ අධ්‍යාපන අයිතීන්, කිසිදු අවස්ථාවක සීමා කළ නොහැකි බව ද පැවසීය.


එමෙන්ම වාර්ෂික ව අසූ දහසක පමණ පිරිසක් උසස් අධ්‍යාපනය සඳහා විදේශගතවන අතර, තම අධ්‍යාපන අපේක්ෂා වෙනුවෙන් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් ගේ දොර පවා උකසට තබමින් අධ්‍යාපනය සොයා රට හැරයාම කණගාටුදායක තත්ත්වයක් බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.


රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලයක් හෝ අධ්‍යාපන ආයතනයක් වුවද රජය පිළිගන්නා ප‍්‍රමිතීන්ට අනුව අධ්‍යාපනය ලබාදිය යුතුය යන ප‍්‍රතිපත්තිමය තීන්දුවට රජය එළැඹ තිබෙන අතර මාළඹේ වෛද්‍ය විද්‍යාලය පිළිබඳ විශ්වවිද්‍යාල සිසුන් සමඟ පැවති සාකච්ඡාවේදී ඔවුන්ගේ ඉල්ලීම පරිදි සංශෝධන රැසක් සිදු කිරීමට රජය පියවර ගත් බව ද කියා සිටියේය.


පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පාසල් රැසක නව ගොඩනැගිලි සිසු අයිතියට පවරාදීම ඇතුළු සංවර්ධන කටයුතු රැසක් ඊයේ දිනයේ ද ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරිණි.


ඊයේ පෙරවරුවේ පුලස්තිගම, විජිත ප‍්‍රාථමික විද්‍යාලයේ නව දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එම විද්‍යාලයේ සෙසු අඩු පාඩු පිළිබඳ ව ද සොයා බැලීය.


උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, පළාත් අමාත්‍ය සම්පත් ශ්‍රී නිලන්ත යන මහත්වරුන් ද විදුහල්පති සරත් හේමකුමාර මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


ඉන් අනතුරුව ලංකාපුර මහා විද්‍යාලයේ නව දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවට ජනාධිපතිතුමා එක් විය.
 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.