• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජනප්‍රිය පාසල් සඳහා පවතින තරගයට ඇති පැහැදිළි ම විසඳුම ගමේ පාසල සියලු පහසුකම්වලින් සම්පූර්ණ කිරීම

He 2017 7 3ජනප්‍රිය පාසල් සඳහා පවතින තරගයට ඇති පැහැදිළි ම විසඳුම  ගමේ පාසල සියලු පහසුකම්වලින් සම්පූර්ණ කිරීම බව ජනපති පවසයි.


ජනප්‍රිය යැයි කියන පාසල්වලට දරුවන් ඇතුළත් කර ගැනීම සඳහා පවතින තරගයට තිබෙන පැහැදිළිම හා ස්ථීර විසඳුම වන්නේ ගමේ පාසල සියලු පහසුකම්වලින් සම්පූර්ණ කිරීම බව ජනාධිපතිතුමා පවසයි.


එම ප‍්‍රතිපත්තිය අනුව කටයුතු කරමින් සිටින වත්මන් රජය ග‍්‍රාමීය පාසල්වල සංවර්ධනය සඳහා මේ වන විට පුළුල් වැඩකොටසක් ඉටු කරමින් සිටින බවද ජනාධිපතිතුමා කියා සිටියේය.


ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ බද්දේගම සාන්ත අන්තෝනි විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද නව තාක්ෂණ පීඨය හා තාක්ෂණික විද්‍යාගාරය සිසු අයිතියට පැවරීමේ සහ සියවස් සැමරුමට සමඟාමී ව පැවැත්වෙන අධ්‍යාපනික ප‍්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (01) පෙරවරුවේ එක් වෙමිනි.


නගරයේ තිබෙන පාසල හොඳම පාසල කියන මතය හේතුවෙන් දෙමව්පියන් අතර මෙම තරගකාරිත්වය මතුව ඇති බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා ළඟම පාසල හොඳම පාසල බවට පත් කරමින් රටේ සියලු දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට වත්මන් රජය කැපවී සිටින බව ද ප‍්‍රකාශ කළේය.


බද්දේගම නගරයේ සංවර්ධනය පිළිබඳ ව ද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ එහි නගර සැලසුම් සහ පරිසර අලංකාරය පිළිබඳ මීට වඩා සැළසුම් සහගත වැඩපිළිවෙළක අවශ්‍යතාවය මතුව ඇති බවයි.


ඒ සඳහා ඉදිරිපත් කෙරෙන යෝජනා පිළිබඳ පළාතේ දේශපාලන නායකත්වයන් සමග සාකච්ඡා කර අවශ්‍ය ප‍්‍රතිපාදන ලබාදීමට ඉදිරියේදී අපේක්ෂා කරන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.


සමරු ඵලකය නිරාවරණය කර නව තාක්ෂණික පීඨය හා තාක්ෂණික විද්‍යාගාරය සහිත දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරූ ජනාධිපතිතුමා විද්‍යාලයේ ජාතික සහ ජාත්‍යන්තර තලයේ විශිෂ්ටතා දැක්වූ දරුවන්ට තිළිණ ප‍්‍රදානය කිරීමට ද එක් විය.


විද්‍යාලයේ විදුහල්පති එච්.ජී. ඉන්ද්‍රජිත් මහතා විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත ද සමරු තිළිණයක් පිළිගැන්වීය.


අනතුරුව අධ්‍යාපනික හා වෙළෙඳ ප‍්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිතුමා එය නැරඹීමට ද එක් විය.


මහා සංඝරත්නය ද පූජා ප‍්‍රසාදීන් වහන්සේලා, කන්‍යා සොයුරියන් ඇතුළු පූජකතුමන්ලා ද, අමාත්‍යවරුන් වන ගයන්ත කරුණාතිලක, චන්දිම වීරක්කොඩි, නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම, දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය හේමකුමාර නානායක්කාර, දකුණු පළාත් ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා, දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිමා රාසපුත‍්‍ර, මන්ත‍්‍රීවරුන් වන විජයපාල හෙට්ටිආරච්චි, බන්දුල ලාල් බණ්ඩාරිගොඩ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.