• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ශ්‍රී ලංකාවේ විද්‍යා හා තාක්ෂණික ක්‍ෂේත්‍රයට ලෝක අවධානය යොමුවේ

industry ministry 2017 7 6ශ්‍රී ලංකාවේ විද්‍යා හා තාක්ෂණික ක්‍ෂේත්‍රයේ සංවර්ධන කටයුතු සඳහා ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීම ඉතා වැදගත් බවත් මෙම කටයුත්තේ දී ලෝකයේ බොහෝ රටවල් ලංකාවට ඉතා හොඳ සහයෝගයක් ලබා දෙන අතර වර්තමානය වන විට ලෝකයේ සංවර්ධිත හා සංවර්ධනය වෙමින් පවතින රටවල වැඩි අවධානය දිනා ගැනීමට ලංකාවේ විද්‍යා හා තාක්ෂණික ක්‍ෂේත්‍රය සමත්වී ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පවසයි. 


අමාත්‍යවරයා මේ බව පැවසුවේ,පසුගියදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැති ”ඉන්කෝ 2017” කර්මාන්ත ප්‍රදර්ශනයට සහභාගී වෙමිනි. 


මෙවර 15 වැනි වරටත් පැවැත්වූ ”ඉන්කෝ 2017” කර්මාන්ත ප්‍රදර්ශනය වරළත් ඉංජිනේරු ආයතනය විසින් සංවිධානය කරනු ලබන අතර, ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්‍ෂේත්‍රයේ පුනර්ජීවයක් ඇති කිරීමේ අරමුණින්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාශය මෙම ප්‍රදර්ශනය සඳහා දායක වෙයි. එහිදී කර්මාන්තවල තරගකාරීත්වය වැඩිදියුණු කිරීම, ප්‍රාදේශීය කාර්මීකරණය ඉහළ නැංවීම හා නිෂ්පාදනවල තත්ත්වය ඉහළ නැංවීම යන අංශ කෙරෙහි අවධානය යොමු කරනු ලැබේ.


මෙහිදී  අදහස් දැක්වූ අමාත්‍යවරයා. 



”මෙවැනි කර්මාන්ත ප්‍රදර්ශන තුළින් කර්මාන්තකරුවන්ට තම භාණ්ඩ විශාල පාරිභෝගික ජනතාවක් වෙත එකවර යොමු කිරීමට හොඳ අවස්ථාවක් ලැබෙනවා. මේ හරහා තම නව නිෂ්පාදන වෙළඳපළට හඳුන්වාදීමට  හැකියාවක් ලැබෙනවා. මෙම ප්‍රදර්ශනය හරහා ශ්‍රී ලංකාවේ මධ්‍යම පාන්තික කර්මාන්තකරුවන්ට තම ආදායම් ඉහළ නංවා ගැනීමට අවස්ථාව උදාවී තිබෙනවා. සූර්යය බලශක්තිය කර්මාන්ත ක්‍ෂේත්‍රයට යොදාගත හැකි ආකාරයේ ව්‍යාපෘති රැසක් මෙවර මෙම ප්‍රදර්ශනයට එක්කර තිබීම විශේෂත්වයක්. මෙවැනි සූර්යය බලශක්ති ව්‍යාපෘති කර්මාන්ත ක්‍ෂේත්‍රයේ පුනර්ජීවනයට ඉතා වැදගත්. මෙය  කර්මාන්ත ක්‍ෂේත්‍රයේ පිබිදීමක් ඇති කළ හැකි හොඳ ප්‍රවණතාවක් ලෙස මා දකිනවා. මෙවැනි ව්‍යාපෘති වැඩිදියුණු කිරීමෙන් අනාගත ශ්‍රී ලංකාවේ බල ශක්ති අර්බුදයක් ඇති නොවනු ඇතැයි මා තරයේ විශ්වාස කරනවා” යැයි පැවසීය.   



”ලෝකයේ සෙසු රටවල මෙන්ම ලංකාවේ ද කර්මාන්ත ක්‍ෂේත්‍රයේ දියුණුව සඳහා ඉංජිනේරුවරුන්ගේ කාර්යයභාර්යය ඉතා වැදගත්. ලංකාවේ ඉතා දක්ෂ පළපුරුදු සුදුසුකම්වලින් සමන්විත ඉංජිනේරුවරුන් සිටිනවා. මෙගා පොලිස් වැනි නව ව්‍යාපෘති මගින් ශ්‍රී ලාංකික ඉංජිනේරුවන්ට තම කුසළතා ජාත්‍යන්තර මට්ටම තෙක් ගෙනයාමට හොඳ අවස්ථාවක් උදාවී තිබෙනවා.” යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.