• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

දීප උයන පාරසරික උද්‍යානය ජනපති අතින් විවෘත කෙරේ

heඓතිහාසික පොලොන්නරුව පූජාභූමිය වෙත පැමිණෙන පිරිස් වෙත, පුලතිසි පුරවරයේ පාරසරික වටිනාකම විවරණය කෙරෙමින්, පූජා නගරයට ආසන්නයේ නිර්මාණය කළ දීප උයන විවෘත කිරීම අද (10) පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදුවිය.


දෙස් විදෙස් සංචාරක ව්‍යාපාරය වර්ධනය කරමින්, දරුවන්ගේ පාරසරික දැනුමට මෙන්ම විනෝදාස්වාදයට දායකත්වයක් ලබාදෙන මෙම උද්‍යානය පිරිසිදුව, පරිසර හිතකාමී අයුරින් පවත්වාගෙන යාම සියලු දෙනාගේම වගකීම බව පෙන්වා දුන් ජනාධිපතිතුමා, ඒ වෙනුවෙන් දැඩි නීති රීති පැනවීමේ අවශ්‍යතාවය ද පෙන්වා දුන්නේය.


එමෙන්ම මෙම උද්‍යානය සකස්කර දැයට පිරිනැමීම වෙනුවෙන් ඒ සඳහා දායක වූ හා මඟපෙන්වූ සියලු දෙනාටම ජනාධිපතිතුමාගේ ස්තුතිය ද පිරිනැමීය.

 
මෙම අවස්ථාවට අමාත්‍ය ජෝන් අමරතුංග, උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක, උතුරු මැද පළාත් කෘෂිකර්ම අමාත්‍ය සම්පත් ශ‍්‍රී නිලන්ත, පොලොන්නරුව දිස්ති‍්‍රක් ලේකම් රංජිත් ආරියරත්න යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් ද එක්ව සිටියහ.


මීට අමතරව පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ ග‍්‍රාම නිලධාරීන් වෙත ටැබ් පරිගණක යන්ත‍්‍ර ලබාදීමේ වැඩසටහනක් ද ජනාධිපති  මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද පෙවරුවේ පොලොන්නරුවේදී පැවැත්විණි.


විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයේ මග පෙන්වීමෙන් “ස්මාර්ට් සමාජ කව” වැඩසටහන යටතේ මෙම ටැබ් පරිගණක යන්ත‍්‍ර පිරිනැමීම සිදුවන අතර, එය සංකේතවක් කරමින් තමන්කඩුව, දිඹුලාගල හා හිඟුරක්ගොඩ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස නියෝජනය කරන ග‍්‍රාම නිලධාරීන් හා ග‍්‍රාමීය නියෝජිතයින් කිහිපදෙනෙකු වෙත ජනාධිපතිතුමා අතින් ටැබ් පරිගණක යන්ත‍්‍ර පිරිනැමීම සිදුවිය.


දිවයිනේ සියලු දිස්ත‍්‍රික්ක ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කිරීමට නියමිත අතර මෙහි මූලික අරමුණ වන්නේ තාක්ෂණයෙන් පිරිපුන් ජනතාවක් බිහිකිරීමයි.



මෙම අවස්ථාවට තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ සභාපතිනි චිත‍්‍රාංගනී මුබාරක් මහත්මිය ද එක්ව සිටියාය.


මේ අතර රට දැය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් සිහිපත් කරමින් දිඹුලාගල, මඩකලපුව හන්දියේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ‍්‍රයේ ඉදි කර තිබූ බුද්ධ මන්දිරය යළි ප‍්‍රතිසංස්කරණය කොට විවෘත කිරීම ද ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (09) පස්වරුවේ සිදු විය.


එම අවස්ථාවට පොලොන්නරුව දිස්ති‍්‍රක් ලේකම් රංජිත් ආරියරත්න, පළාත් සභා මන්ත‍්‍රී ජගත් සමරසිංහ මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.