• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

පුරාවිද්‍යා උපදේශන මණ්ඩලය රැස් වෙයි

Hon akila wiraj kariyawasam news 2017 7 11පුරාවිද්‍යා උපදේශන මණ්ඩලය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස් වූ අතර තීරණාත්මක තීන්දු කිහිපයකට ඒකමතික අනුමැතිය ලැබුණු බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

 



එහිදී  පුරාවිද්‍යා උරුමයන් සංරක්ෂණය සහ බෞද්ධ වෙහෙර විහාරස්ථාන සංරක්ෂණය ඇතුළු මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් දියත්කර ඇති ව්‍යාපෘති සම්බන්ධව ඉතා දීර්ඝ ලෙස කරුණු සාකච්ඡාවට ලක් විය.


එසේම මේ දිනවල ප්‍රධාන වශයෙන් කතාබහට ලක්වන දඹුලු ලෙන් විහාරයේ බිතුසිතුවම් සහ පිළිම වහන්සේ විනාශ වී යාම පිළිබඳව මෙහිදී ප්‍රමුඛ ලෙස අවධානයට ලක්වූ අතර, දේශීය සහ විදේශීය විද්වතුන් ඉදිරිපත්කර ඇති වාර්තාද මෙහිදී විද්වත් සභාවේ සාකච්ඡාවට බඳුන් විය.


රංගිරි දඹුලු ලෙන් විහාරය සම්බන්ධයෙන් ICOMOS (පුරාවිද්‍යා ස්මාරක සහ ස්ථාන සම්බන්ධ අන්තර්ජාතික කවුන්සිලය) සහ යුනෙස්කෝ සංවිධානය ලබාදී ඇති නිර්දේශ, පුරා  විද්‍යා චිත්‍ර පිළිබඳව ප්‍රකට ජාත්‍යන්තර සංරක්ෂණ විශේෂඥයෙකු වන මහාචාර්ය වර්නර් ස්මිත් මහතාගේ වාර්තාද, මෙරට පුරාවිද්‍යා වියතුන්ගේ වාර්තා සහ අදහස් මෙහිදී දීර්ඝ වශයෙන් අවධානයට ලක්විය. ඒ අනුව දැඩි ලෙස විනාශ වී යාමේ අවධානමට ලක්ව ඇති ලෝක උරුම රංගිරි දඹුලු ලෙන් විහාර සංකීර්ණය වේගවත්ව  සංරක්ෂණය කිරීමේ කටයුතු ආරම්භ කිරීමට තීරණය කළේය. ඒ සඳහා දෙස් විදෙස් සංරක්ෂණ විශේෂඥයින්ගේ උපරිම දායකත්වය ලබාගැනීමටත් සිතුවම් සහ පිළිම පිළිබඳ නැවත කරුණු විමර්ශනය කිරීම සඳහාත් දේශීය සහ විදේශීය තාක්ෂණය උපයෝගී කර ගනිමින් සංරක්ෂණ කටයුතු දියත් කිරීමටත් ඒකමතිකව තීරණය විය.


එමෙන්ම මෙහිදී ඉදිරිපත් වූ කරුණු සියල්ල සැලකිල්ලට ගනිමින් ලෙන් විහාර සංකීර්ණයේ ඇති ලෙන් පහෙන් ප්‍රමුඛ තාවයන් අනුව එක් එක් ලෙන බැගින් ක්‍රමානුකුල ලෙස සංරක්ෂණය කිරීමටත් එසේම මුලික අදියරේ සංරක්ෂණ සහ පරීක්ෂණ කටයුතු සඳහා දඹුලු ලෙන් විහාර සංකීර්ණය නැවත දැනුම් දෙන තුරු දෙස් විදෙස් සංචාරකයින් සඳහා තාවකාලිකව වසා තැබිය යුතු බවටත් අදාළ උපදේශන මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබේ.


 ඒ අනුව එම කාලය තුළ,


1.     පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ බිතු සිතුවම් සංරක්ෂණ නිලධාරීන් දඹුල්ල විහාරයේ බිතු සිතුවම් සංරක්ෂණ කටයුතු සඳහා පුර්ණ වශයෙන් යෙදවීම.


2.     බිතු සිතුවම් සංරක්ෂණය සඳහා ප්‍රවීණතාවයක් උසුලන සියලුම සංරක්ෂණ විශේෂඥයින් හට ආරාධනා කර සංරක්ෂණ කටයුතු සඳහා ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීම.


3.     දඹුල්ල විහාරයේ සාපේක්ෂ ආර්ද්‍රතාවය දෛනිකව මැන ගැනීම සඳහා නිශ්චිත කාලයක් තුලදී අර්ද්‍රතාමාන සවි කිරීමට කටයුතුකරන ලෙස මධ්‍යම සංස්කෘතික අරමුදලට උපදෙස් දීම.


4.     දඹුල්ල විහාරයේ දොරටු වලින් කුඹලුන් හා වෙනත් කෘමින් ඇතුල් වීම වැලැක්වීම සඳහා දැල් හෝ වෙනත් ආවරණ සවි කිරීමට පියවර ගන්නා ලෙස මධ්‍යම සංස්කෘතික අරමුදලට උපදෙස් දීම.


5.     දඹුල්ල විහාරයේ ලෙන් තුල එක්වරකට සිටිය හැකි ආගන්තුකයින් සංඛ්‍යාව ගණනය කර එය පාලනය කිරීම සඳහා ස්වයංක්‍රිය දොරටු සවි කිරීම.


6.     දඹුලු විහාරය තුල ක්‍රමවත් ආලෝක පද්ධතියක් සවි කිරීම.


7.     දඹුල්ල විහාරය තුල ක්‍රමවත් ආරක්‍ෂිත කැමරා පද්ධතියක් සවි කිරීම.   



මෙම සංරක්ෂණ කටයුතු වෙනුවෙන් වැයවන සමස්ත පිරිවැය මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් දැරීමටද එකඟතාවය පළවුණා.   


මීට අමතරව රංගිරි දඹුලු ලෙන් විහාර සංකීර්ණය නැරඹීමට පැමිණෙන විදෙස් සංචාරකයන්ගෙන් ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීමේ කටයුත්ත පුරාවස්තු ආඥා පනත, මධ්‍යම සංස්කෘතික අරමුදලේ පනත සහ විහාර දේවාලගම් ආඥා පනත ප්‍රකාරව පැවරී ඇති නෛතික බලතල උපයෝගී කරගනිමින් මධ්‍යම සංස්කෘතික අරමුදල හරහා සිදුකිරීමටත් පුරාවිද්‍යා උපදේශන සභාව තීරණය කරනු ලැබුවා. එමෙන්ම මේ සම්බන්ධයෙන් දඹුලු  විහාර පාර්ශවයේ ස්වාමින්වන්සේලා සමඟ සාකච්ඡා කර විහාරයේ සෙසු කටයුතු සඳහා අවශ්‍ය මුදල් දඹුලු ලෙන් විහාරයේ ටිකට් පත් අලෙවියෙන් මධ්‍යම සංස්කෘතික අරමුදලට ලැබෙන මුදලින් වෙන් කිරීමටද තීරණය කර ඇත.


මෙම උපදේශන සභාවේදී නැගෙනහිර පුරාවිද්‍යා භුමි නිරවුල් කිරීම සඳහා වේගවත්ව මැදිහත් වීමේ අවශ්‍යතාවයද පිළිබඳවද කරුණු සාකච්ඡාවට ලක් විය. එහිදී විවිධ පිරිස් විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටින පුරාවිද්‍යාත්මක ස්ථාන සහ පෞරාණික ආගමික සිද්ධස්ථාන වල මායිම් පුරාවස්තු ආඥා පනතේ විධිවිධාන අනුව තහවුරු කිරීමට වේගවත් යාන්ත්‍රණයක් සකස් කිරීමට එකඟතාවය පළ වී ඇත.



මීට අමතරව මියන්මාරය, ශ්‍රී ලංකාව සහ තායිලන්තය යන ථෙරවාදී බෞද්ධ කලපන් එකිනෙක සම්බන්ධ කරමින් ථෙරවාදී බෞද්ධ ත්‍රිකෝණයක් ස්ථාපිත කිරීම පිළිබඳවද සාකච්ඡා වූ අතර එම රාජ්‍යයන්හි තානාපති  කාර්යාල සමග සාකච්ඡා කර ඉදිරි වැඩසටහන් සකස් කිරීමටද එකඟතාව පළවිය.



පුරාවිද්‍යා උපදේශන සභාව නියෝජනය කරමින් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය පුජ්‍ය දඹර අමිල හිමි, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් නිමල් කොටවලගෙදර, මධ්‍යම සංස්කෘතික අරමුදලේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය නිමල් ද සිල්වා, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රශාන්ත ගුණවර්ධන,  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ශිරාන් දැරණියගල, වාස්තු විද්‍යාඥ මහාචාර්ය වෙරන්ජන් කුරුකුලසූරිය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ උපාලි රත්නායක, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී.මණ්ඩාවල, යුනෙස්කෝ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ,  මධ්‍යම සංස්කෘතික අරමුදලේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ නීතිඥ කරුණාරත්න හේරත් යන නිලධාරීන් සහභාගී වූහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.