• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

බංග්ලාදේශ නිදහස් සටනේ විරුවන්ට ජනපතිගෙන් පුෂ්පෝපහාර

He news 2017 7 14බංග්ලාදේශ අගමැතිණි ෂෙයික් හසීනා මහත්මියගේ ආරාධනය පරිදි බංග්ලාදේශයේ තෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (13) පස්වරුවේ බංග්ලාදේශයේ ජාතික විරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීය.


1971 බංග්ලාදේශ ජාතික නිදහස් සටනේ විරුවන් සැමරීමට ඉදිකර ඇති මෙම රණවිරු ස්මාරකය ඩකා අගනුවර සිට කි.මි 34ක පමණ දුරින් සවාර් ප‍්‍රදේශයේ ස්ථාපිත කර තිබේ.


එම පරිශ‍්‍රය වෙත පැමිණි ජනාධිපතිතුමා පිළිගනු ලැබූවේ බංග්ලාදේශයේ රණවිරු සුබසාධන කටයුතු පිළිබඳ අමාත්‍යවරයා සහ නිවාස සහ පොදු පහසුකම් පිළිබඳ අමාත්‍යවරයා විසිනි.


සිය සංචාරය සනිටුහන් කරමින් එහි පැළයක් රෝපණය කළ ජනාධිපතිතුමා විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය.


ඉන් අනතුරුව ජනාධිපතිතුමා ඇතුළු දූත පිරිස බංග්ලාදේශයේ බංගබන්දු අනුස්මරණ කෞතුකාගාරය නැරඹීමට එක් විය.


බංග්ලාදේශ අගමැතිණි ෂෙයික් හසීනා මහත්මියගේ පියාණන් වන බංගබන්දු ෂෙයික් මුජිබර් රහමන් මහතා සිහිපත් කරමින් ඔහු ජීවත් වූ නිවසේ මෙම කෞතුකාගාරය පවත්වාගෙන යනු ලබයි.


කෞතුකාගාරය වෙත පැමිණි ජනාධිපතිතුමා බංග්ලාදේශ අගමැතිණි ෂෙයික් හසීනා මහත්මියගේ දියණිය විසින් පිළිගත් අතර ජනාධිපතිතුමා එහි විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය.


ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා බංග්ලාදේශයේ සිදුකරන පළමු සංචාරය මෙය වන අතර මෙම සංචාරයේදී ජනාධිපතිතුමා වෙත ඉහළ පිළිගැනීමක් ලබාදිමට එරට රජය සියලු කටයුතු සූදානම් කර තිබුණි.


ඊයේ පෙරවරුවේ ඩකා නුවර ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබූවේ බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් අබ්දුල් හමීඩ් මැතිතුමා විසිනි. ආචාර වෙඩි මුර 21 ක් සහිත හමුදා උත්තමාචාර පිරිනමමින් ඉතා අභිමානවත් අයුරින් එම පිළිගැනීම සිදු විය.
 
 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.