• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ඩෙංගු මර්දනය පිළිබඳ මෙහෙයුම් කමිටුවේ විශේෂ සාකච්ඡාවක්

Secretary to the President Austin Fernando2017ඩෙංගු මර්දනය පිළිබඳ මෙහෙයුම් කමිටුවේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.


සෞඛ්‍යය ක්ෂේත‍්‍රය නියෝජනය කරන ආයතන ප‍්‍රධානීන් මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියහ.


ඩෙංගු රෝගය වැළඳී ඇති මුළු රෝගීන්ගේ සංඛ්‍යාවෙන් සියයට තිහක් පාසල් දරුවන් බැවින් පාසල් පරිශ‍්‍රයන් ඩෙංගුවලින් තොර කලාපයක් බවට පත්කිරීමේ සම්පූර්ණ වගකීම විදුහල්පතිරුන් වෙත පැවරිමටත්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා හරහා මේ පිළිබඳව දිවයිනේ සියලුම විදුහල්පතිවරුන් දැනුවත් කිරීමටත් මෙහිදී යෝජනා විය.


ඩෙංගු අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති දිස්ත‍්‍රික්ක කෙරෙහි වැඩි ප‍්‍රමුඛත්වයක් ලබාදෙමින් කටයුතු කිරීමේ වැදගත්කම ද මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර වත්මන් කාලගුණ තත්ත්වය සහ ඉදිරි මාස කිහිපය තුළ වර්ෂාව ඇතිවීමේ ප‍්‍රවණතා ද සැලකිල්ලට ගනිමින් ඩෙංගු මර්දනය සඳහා වහාම පියවර නොගන්නේ නම් තවදුරටත් ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීමේ ගැටලුවකට මුහුණ දීමට සිදුවන බව ද මෙහිදී අවධාරණය කෙරිණි.


එමෙන්ම මේ වනවිට ත‍්‍රිවිධ හමුදාව විසින් කි‍්‍රයාවට නංවා ඇති ඩෙංගු මර්දන ව්‍යාපෘති සඳහා රාජ්‍ය නිළධාරීන්ගේ මෙන්ම සාමාන්‍ය ජනතාවගේ සකී‍්‍රය දායකත්වය ලබා ගැනීමේ වැදගත්කම ද අවධානයට ලක් වූ අතර දැනට සිදුකරන ඩෙංගු මර්දන ව්‍යාපෘති තව දුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය ද සාකච්ඡාවට බඳුන් විය.


තව ද ඩෙංගු අවදානම් ස්ථාන පිළිබඳ ද අදාළ නිලධාරීන් දැනුවත් කිරීමට මහජනතාවට අවස්ථාව ලබාදීම වෙනුවෙන් සහ ඩෙංගු මර්ධනය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමට ජංගම දුරකතන ජාල ඇතුළු තොරතුරු සන්නිවේදන ආයතන මගින් ලබා ගත හැකි සහයෝගය පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.


මෙම සාකච්ඡාව සඳහා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, චතුරිකා සිරිසේන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කමල් පද්මසිරි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර යන මහත්ම මහත්මීන් ද දිස්ත‍්‍රික් ලේකම්වරු, ත‍්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක අංශ ප‍්‍රධානීන් එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.