• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ 14 වන සමුළුව මෙවර ශ්‍රී ලංකාවේ දී

Hon akila wiraj news2017 7 20ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ 14 වන සමුළුව මෙවර ශ්‍රී ලංකාවේදී උත්කර්ශවත් ලෙස පැවැත්වීමට කටයුතු යොදා තිබේ.



අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එහි මෙහෙයුම් කමිටුවේ සභාපති ධූරය දරන අතර ඊයේ(19) පෙරවරුවේ අපේ ගම පරිශ්‍රයේ දී සමුළුව පැවැත්වීමේ සංවිධාන කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.


ඔක්තෝබර් මස 27 දින සිට 30 දින දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, මහනුවර පල්ලෙකැලේ පළාත් සභා සම්මන්ත්‍රණ ශාලාව සහ ගලේවෙල මිල්ලවාන මහ විදුහල යන ස්ථානවල මෙම සමුළුවේ කටයුතු පැවැත්වීමට සැලසුම් කර තිබේ. ලෝකය පුරා සිටින ථේරවාද, මහායාන, තන්ත්‍රයාන, වජ්‍රයාන සහ සෙන් බෞද්ධාගමික තරුණ භික්ෂූන් වහන්සේලා දහසක පමණ පිරිසක් සහභාගිවන මෙම සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන්නේ තෙවන වරටයි. 2004 වර්ෂයේ දී නේපාලයේ දී පැවති ආරම්භක සමුළුවෙන් අනතුරුව මැලේසියාව, තායිලන්තය, ඕස්ට්‍රේලියාව, ජපානය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, බෙල්ජියම සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල දී මෙම සමුළුව මෙතෙක් පවත්වා තිබේ.


මෙම සමුළුව හරහා වෙහෙර විහාර සංවර්ධන කටයුතු සහ ධර්මදූත කාර්යයන් සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීමට සමුළුවට සහභාගිවන තරුණ භික්ෂූන් වහන්සේලා විසින් අවශ්‍ය කටයුතු සිදු කරනු ලබයි. මෙතෙක් නගරබදව පැවැත්වූ මෙම සමුළුවේ සියලු කටයුතු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ යෝජනාවක් අනුව මෙවර ගම්බද ප්‍රදේශ ආශ්‍රිතව පැවැත්වීමට ද තීරණය කිරීම විශේෂත්වයකි. ඒ අනුව සමුළුවේ සමාප්ති උත්සවය ගලේවෙල මිල්ලවාන මහ විදුහලේ දී ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

 

මේ නිමිත්තෙන් මිල්ලවාන විදුහල සියලු පහසුකම් සහිතව සංවර්ධනය කිරීමට ද අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

 
මෙම සාකච්ඡාව සඳහා ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ මහ ලේකම් පූජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ හිමි, ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ ශ්‍රී ලංකා ජාතික මණ්ඩලයේ උප සභාපති පූජ්‍ය දිසාකඩුවේ සෝමානන්ද හිමි, ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ ශ්‍රී ලංකා ජාතික මණ්ඩලයේ ලේකම් පූජ්‍ය මැණික්හින්නේ ධීරානන්ද හිමි ඇතුළු ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ දිස්ත්‍රික් සංවිධායක ස්වාමීන් වහන්සේලා සහභාගි වූහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.