• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

අභියෝග ජය ගෙන යුරෝපා රටවල් අභිබවා යාමට පවා ආසියාවට හැකියි - අගමැති

PMබටහිර රටවල් විසින් සම්පාදනය කළ ගෝලීය ආර්ථිකයේ නීතිරීති මෙතෙක් කල් අප විසින් ක්‍රියාත්මක කරනු ලැබූව ද අද වන විට මෙම ක්‍රමවේදය විවිධ අර්බුදයන්ට ලක් වී තිබෙන තත්ත්වය මත මෙම නීතිරීති සම්පාදනය කිරීමේ අවස්ථාව ආසියාව වෙත ලබාගැනීමට හැකි නම් එම අභියෝග ජය ගෙන යුරෝපා රටවල් අභිබවා යාමට පවා ආසියාවට හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

 

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ  නවදිල්ලි නුවර පැවැති ඉන්දීය ආර්ථික සමුළුව අමතමිනි.

ලෝක ආර්ථික සමුළුව විසින් සංවිධානය කරන ලද මෙම ඉන්දීය ආර්ථික සමුළුවේ මුඛ්‍ය දේශනය පවත්වමින් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ වසර 2020 වන විට ලංකාවේ අයවැය පරතරය 3.5% දක්වා අඩු කරමින් සීඝ්‍ර ආර්ථික වර්ධන වේගයක් අත්පත් කර ගෙන ඉදිරියට ගෙන යාම ශ්‍රී ලංකාවේ නව ආර්ථික ක්‍රියා පිළිවෙතේ ප්‍රධාන අරමුණ බවයි.

මේ සඳහා ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක විනිමය නීතිරීති වඩා නම්‍යශීලී කරමින් හා රටේ ලිහිල් බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරමින් වෙළෙඳ සහ සේවාවන්වලට අගය එකතු කිරීමේ මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම තම අපේක්‍ෂාව බව ද වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

දකුණු ඉන්දියානු ප්‍රාන්ත 5ක් සමග එක්ව උප ආර්ථික කලාපයක් පිහිටුවීමෙන් ඉන්දියාවට හා ශ්‍රී ලංකාවට ලබා ගත හැකි වෙළඳ සහ ආර්ථික වාසි පිළිබඳ ව ගැඹුරෙන් සිතා බැලීමට සුදුසු කාලය එළැඹඇති බව ද වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ නව ආර්ථික හා සංවර්ධන සැලසුම් පිළිබඳ ව කරුණු පැහැදිලි කරමින් අග්‍රාමාත්‍යවරයා පැවසූයේ ශ්‍රී ලංකාවේ අනාගතය හැරවුම් ලක්‍ෂයකට යොමු කරන ප්‍රධාන ව්‍යාපෘති දෙකක් ඉදිරියේ දී ක්‍රියාත්මක කරන බවය. ඉන් පළමුවැන්න මහනුවර, කොළඹහ ම්බන්තොට ආර්ථික කොරිඩෝරය වන අතර දෙවැන්න රජරට ආර්ථික කොරිඩෝරයයි. මේ ව්‍යාපෘතීන් තුළ ආයෝජන අවස්ථා විශාල සංඛ්‍යාවක් නිර්මාණය වෙන බව ද වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

ඉන්දියාව, සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින ත්‍රෛපාක්‍ෂික වෙළෙඳ සහයෝගිතාවට අමතරව ඉන්දුනීසියාව, මැලේසියාව සහ බිම්ස්ටෙක් රටවල්වල වෙළෙඳපොළවල් කෙරෙහි ද අපේ අවධානය යොමු විය යුතු බව ද පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා දකුණු ආසියාවෙන් ඔබ්බට ගොස් බෙංගාල බොක්ක ආශ්‍රිත සියලු ම රටවල් සමග එක්ව ආර්ථික සහයෝගිතා කලාපයක් පිහිටුවීම කෙරෙහි අපේ අවධානය යොමු කළ යුතු බව ද අවධාරණය කළේය.

ඉන්දීය ආර්ථික සමුළුවේ සමාරම්භක උළෙල අමතමින් ඉන්දීය වෙළඳ සහ කර්මාන්ත රාජ්‍ය ඇමතිනී නිර්මලා සීතාරාමන් මහත්මිය ප්‍රකාශ කළේ අනාගතයේ ලෝකයේ බලවත්ම ආර්ථික කලාපය බවට ආසියාව පත්වනු ඇති බවය. ඒ බව හොදින් දැන හඳුනා ගත් ඉන්දියාව අනාගතය වෙනුවෙන් සුවිශේෂී වැඩ සැලසුම් ගණනාවක් ක්‍රියාත්මක කරන බව ද ඇමතිනිය පැවසුවාය.

විශේෂයෙන්ම ආර්ථික ඩිජිටල්කරණය වෙත ඉන්දියාව නැඹුරු වෙමින් සිටින බව පෙන්වා දුන් සීතාරාමන් මහත්මිය, ඒ ඔස්සේ ලබා ගත හැකි ප්‍රගතිය හා වාසිය අති විශාල බව ද පෙන්වා දුන්නාය.

ඉන්දියාවේ ප්‍රධාන පෙළේ ව්‍යවසායකයින් මෙන්ම ලෝකයේ විවිධ රටවලින් පැමිණි ව්‍යවසායකයින් විශාල පිරිසක් ද, විදේශ අමාත්‍ය මංගල සමරවීර, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් චිත්‍රාංගනී වාගීෂ්වර, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි සහ පස්අවුරුදු සැලසුම් ප්‍රධානී අර්ජුන මහේන්ද්‍රන්, අග්‍රාමාත්‍ය විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා, සංවර්ධන ඒජන්සියේ අධ්‍යක්‍ෂ මංගල යාපා සහ විදේශ අමාත්‍ය පුද්ගලික ලේකම් ලක්‍ෂ්මී ජෙගනාදන් යන මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට එක් වී සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.