• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ශ්‍රී ලංකාව විවිධ ක්ෂේත්‍රයන් තුළ ලබා ඇති ප්‍රගතිය එක්සත් ජාතීන්ගේ පැසසුමට

He news 2017 7 22අද ශ්‍රී ලංකාව විවිධ ක්ෂේත්‍රයන් තුළ ලබා ඇති ප්‍රගතිය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැසසුමට ලක්ව තිබෙන බව එක්සත් ජාතින්ගේ සංවිධානයේ දේශපාලන කටයුතු පිළිබද සහකාර මහලේකම් ජෙෆ්ර් පෙල්ට්මන් (Jeffrey  Feltman) මහතා පවසයි.


දිවයිනට පැමිණ සිටින ජෙෆ්රි පෙල්ට්මන් මහතා  (21) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළේය. 


නියගය, ජල ගැල්ම සහ නායයාම් වැනි සොබාදහමේ වෙනස්වීම් සමග මුහුණදීමට සිදුව තිබෙන දුෂ්කරතා සමග මෙන්ම උතුරේ සහ දකුණේ ඇතැම් අන්තවාදී කොටස්වලින් එල්ලවන බලපෑම් හමුවේ සියලූ අභියෝගවලට සාර්ථකව මුහුණ දෙමින් රට සංවර්ධනය කරා ගෙනයාමට  රජය ගන්නා වූ ප්‍රයත්නයට එක්සත් ජාතින්ගේ සංවිධානයේ අඛණ්ඩ සහය හිමිවන බව ද සහකාර මහලේකම්වරයා පැවසීය.


තම තෙදිනක සංචාරය තුළ සමාජයේ විවිධ කොටස් සමග සාකච්ඡා පැවැත්වූ බව මෙහිදී පැවසූ ජෙෆ්රි පෙල්ට්මන් මහතා ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබද තමාට නිසි අවබෝධයක් තිබෙන බව ද කියා සිටියේය.


රට තුළ යළි යුද්ධයක් ඇති නොවන ලෙස සංහිදීයාව ශක්තිමත් කිරීම තම අරමුණ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙහිදී පැවසීය. 


උතුරේ අවතැන්වූවන්ට රජය ලබාදෙන නිවාස සහ ඉඩම් භාර නොගන්නා ලෙස උතුරේ අන්තවාදී පිරිසක් එම ජනතාවට බලපෑම් කරන බවත්, රට පාවා දෙන්නේයැයි දකුණේ අන්තවාදී සුළු පිරිසක් රජයට අභූත චෝදනා එල්ල කරන බවත් මෙහිදී පැවසූ ජනාධිපතිතුමා එම අන්තවාදීන්ගේ සහ අවස්ථාවාදී දේශපාලඥයින්ගේ අභියෝග නොතකා තම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන ගොස් ජනතාව අපේක්ෂාකරන සහන ලබාදීමට කටයුතු කරන බව ද ප්‍රකාශ කළේය.


එක්සත් ජාතින්ගේ දශක 07 ක සම්බන්ධතාවයේදී ශ්‍රී ලංකාව විවිධ මට්ටමින් තම සංවිධානයට ලබාදෙන ශක්තිය සිහිපත් කළ සහකාර මහලේකම්වරයා එක්සත් ජාතින්ගේ ප්‍රඥප්තියට කැපවූ රටක් ලෙස ශ්‍රී ලංකාවේ සහය අඛණ්ඩව අපේක්ෂා කරන බවද සදහන් කළේය.


සහකාර මහලේකම්වරයාගේ සංචාරය තුළදී ශ්‍රී ලංකාව පිළිබද බොහෝ තොරතුරු ලබා ගන්නට ඇති බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා එහි නිවැරදි තොරතුරු මෙන්ම ඇතැම්විට වැරදි තොරතුරු ද විය හැකි බවත්, කෙසේ වෙතත් එක්සත් ජාතින්ගේ සංවිධානය ශ්‍රී ලංකාව කෙරෙහි දක්වන අපක්ෂපාතී ආකල්පය පිළිබද තමා බෙහෙවින් ස්තූතිවන්ත වන බවත් ප්‍රකාශ කළේය.


වත්මන් රජය බලයට පත්වී ඉක්ම ගිය පසුගිය වසර දෙක හමාර තුළ රටත්, ජනතාවත් වෙනුවෙන් විශාල වැඩකොටසක් ඉටු කළ බව තමාට ප්‍රත්‍යක්ෂ වුව ද රජය ඉටුකරන මෙම කාර්යයන් නිසි ලෙස ජනතාවට සංනිවේදනය නොවන බව තමාට හැගී ගිය බව ද සහකාර මහලේකම්වරයා පැවසීය.


තමා ද එම අදහස දරණ බව සනාථ කළ ජනාධිපතිතුමා ප්‍රගති කාර්යභාර්යන් පිළිබද ජනතාව දැනුවත් කිරීමේ සංනිවේදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට උපදෙස් දී ඇති බව සදහන් කළේය.


එක්සත් ජාතින්ගේ සාම හමුදාවට ශ්‍රී ලංකාවෙන් ලැබෙන දායකත්වය පිළිබද මෙහිදි සහකාර මහලේකම්වරයා සිය ප්‍රසාදය පළ කළ අතර,  එහිදී ජනාධිපතිතුමා ඉල්ලා සිටියේ ඒ සදහා බදවාගන්නා ශ්‍රී ලාංකිකයින්ගේ සංඛ්‍යාව වැඩිකිරීම පිළිබද සොයා බලන ලෙසයි. 


විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඇසළ වීරකෝන්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නිත්‍ය සම්බන්ධීකාරක ඌනා මැකෝලි යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.