• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ආරක්ෂිත විදුලිවැටවල් ගැන සොයාබලන විවිධ සමිති හා ගොවි සංවිධාන වෙනුවෙන් මුදල් ගෙවීමක්

sumedha jayasenaවන අලින් ගම්වැදීම වළකාලීමට ඉදිකරන ආරක්ෂිත විදුලි වැටවල් සොයාබැලීමට පත්කරන විවිධ සමිති හා ගොවි සංවිධාන වෙනුවෙන්  යම් මුදලක් ගෙවීමට කඩිනමින් කටයුතු කරන බව තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය පැවසුවාය.


දැනට රටපුරා ඉදිකර අවසන් කර ඇති ආරක්ෂිත විදුලි වැටවල දුර ප්‍රමාණය කිලෝමීටර් 3861ක් බවත් දැනට රටපුරා ඉදිකෙරෙමින් පවතින විදුලි වැටවල්වල දුර ප්‍රමාණය කිලෝමීටර්  457ක් බවත්  නියෝජ්‍ය අමාත්‍යවරිය පැවසීය.


නියෝජ්‍ය අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ පසුගියදා මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති රැස්වීමකදීය.


“දැනට රටපුරා ඉදිකෙරෙමින් පවතින කිලෝමීටර් 457ක් දුර ආරක්ෂිත විදුලි වැටවල්වල වැඩ කටයුතුද කඩිනමින් අවසන් කරන්න වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදීල තියෙනවා.


දැනට රටපුරා ඉදිකර අවසන් කර තිබෙන කිලෝමීටර් 3861ක දුරකින් යුත් ආරක්ෂිත විදුලිවැටවල් නඩත්තු කරමින් ඒවා ගැන සොයාබැලීම සිදුකරන්නේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් හාරසියයකට අධික සිවිල් ආරක්ෂක නිලධාරීන් ඒ සඳහා යොදවා තිබෙනවා.


අළුතින් ඉදිකරන ආරක්ෂිත විදුලිවැටවල් නඩත්තුකර ඒවා සොයාබැලීමට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් ඉල්ලා සිටියත් ඒ සඳහා එම නිලධාරීන් යොදවන්න නොහැකිවෙලා තිබෙනවා. විවිධ රාජකාරි සඳහා යොදවා තිබෙන නිසා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලබාගන්න ක්‍රමයක් නැහැ. එම නිසා ඊට විකල්පයක් ලෙස විවිධ සමිති, ගොවි සංවිධාන ගම් මට්ටමින් ආරක්ෂිත විදුලිවැට නඩත්තු කිරීමට යොදවලා ඔවුන්ට යම් දීමනාවක් ලබාදෙන්න අවධානය යොමුවෙලා තියෙනවා. තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාගේ උපදෙස් පරිදි එම කටයුතු සිදුකිරීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට වැඩපිළිවෙළක් සකස්කරමින් පවතිනවා.


ආරක්ෂිත විදුලිවැට දෙපැත්තෙන් දෙහි, හණ, පතොක් වැනි අලියා අකමැති ශාඛ වර්ග වැවීම සඳහා ද වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වනවා. ආරක්ෂිත විදුලි වැටවල් සකස් කළද ඒවා නිසි පරිදි නඩත්තු නොවීම නිසා වන අලින් නැවත ගම්වදිනවා. මේ තත්ත්වයන් අවම කරගැනීම සඳහා ආරක්ෂිත විදුලි වැටවල් නඩත්තු කිරීම පිළිබඳ ව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ, ගොවි සංවිධානවල හා ගම්වාසීන්ගේ සහයෝගය හා අවධානය සෑම විටම තිබියයුතුයි.” යනුවෙන්ද තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළාය.


මේ වන විට මොණරාගල දිස්ත්‍රික්කය තුළ අවසන්කර තිබෙන මුළු ආරක්ෂිත විදුලිවැටවල දිග ප්‍රමාණය කිලෝඹිටර් 464.8කි. තවත් කිලෝමීටර් 96ක දුර ආරක්ෂිත විදුලිවැටවල් මොණරාගල දිස්ත්‍රික්කය තුළ ඉදිකෙරෙමින් පවතී.

ආනපල්ලම ජනාවාස iii, iv, අයිස්පිහිල්ල, ගල්බොක්ක, කළුවලකුමාරතැන්න, වෙලන්විට, මහගොඩයාය, මාලිගාවිල, සද්ධාතිස්සපුර, දියකිරිත්තගම, ආයකපොල්ල, හෙළගම, මහකළුගොල්ල, සියඹලාණ්ඩුව, කහම්බාන, කොටියාගල i සහ ii අදියර, වැල්ලවාය, ගොමදියවෙල යන ගම්මානවල නව ආරක්ෂිත විදුලිවැටවල් ඉදි‍කෙරෙමින් පවතී. 


මේවායේ අඩුපාඩු සොයාබලා මෙම ආරක්ෂිත විදුලිවැටවල් ඉදිකිරීමේ කටයුතු කඩිනමින් සිදුකරන ලෙසට සුමේධා ජී. ජයසේන නියෝජ්‍ය අමාත්‍යවරිය විසින් මෙහහිදී උපදෙස් ලබාදෙන ලදී.


තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යංශයේ ලේකම් ආර්. එම්. ඩී.බී. මීගස්මුල්ල, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් එම්. ජී. සී. සූරියබණ්ඩාර, මොණරාගල අතිරේක දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්. ඒ. ධර්මසිරි, වනජීවී සංරක්ෂණ දෙපාර්තමෙන්තුවේ නිලධාරීහු ගොවි සංවිධානවල නියෝජීතයෝ සහ විවිධ ග්‍රාමීය සමිතිවල නියෝජීතයෝ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.