• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කොළඹ සොයිසා කාන්තා රෝහල සංවර්ධනය කිරීමට පියවර

Health news 2017 7 25කොළඹ  ද සොයිසා කාන්තා රෝහල සංවර්ධනය කිරිම පිළිබඳ ගිව්සුම් අත්සන් කිරීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හිල්ටන් හෝටලයේ දී පසුගියදා සිදුකෙරිණි.


රුපියල් මිලියන 4500 ක ආයෝජනයක් වන මෙය මාස 30 කින් අවසන් කිරිමට නියමිතය. මහල් 07 කට මෙම රෝහල ඉදිකෙරන අතර, එය ඉදිකරනු ලබන්නේ Ideal Medical Product Engineering of France ආයතනය විසිනි. ඒ සඳහා වූ ගිවිසුම සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස මහතා සහ එම සමාගමේ  උප සභාපති ඔලිවර් මර්සියම් මහතා විසින් මෙහිදී අත්සන් කරන ලදි. මෙම සංවර්ධන කටයුතුවලට අදාල ණය මුදල වසර 03 ක සහන කාලයක් ඇතුලත්ව වසර 10 කින් ගෙවිය යුතු වෙයි.


මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - "ද සොයිසා කාන්තා රෝහල 1979 වසරේ ආරම්භ කළේ ආසියාවෙි දෙවන මාතෘ හා ළමා රෝහල ලෙසයි. එම කාලයේ සිට අද දක්වා මෙම රෝහලේ දී ලක්ෂ ගණනක දරු උපත් සිදුව තිබෙනවා. මෙම රෝහල සංවර්ධනය කළ යුතුයි. නවීන තාක්ෂණයට අනුව රෝගී සත්කාරක සේවා සිදු කිරීම සඳහා මෙවැනිම දැවැන්ත ව්‍යාපෘතියක් කාසල් වීදීයේ කාන්තා රෝහලෙත් ඉදිරියේ දී ක්‍රියාත්මක කරනවා. කළුතර ප්‍රදේශයෙත් නෙදර්ලන්ත ආධාර මත මාතෘ හා ළමා රෝහලක් ස්ථාපිත කරනවා. ජර්මනියේ ආධාර යටතේ පානදුර රෝහලත් නවීන රෝහලක් බවට සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙනවා. ද සොයිසා කාන්තා රෝහලේ නොමේරූ ළදරු ඒකකයත් මෙම ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය වෙනවා. මෙම රෝහල සංවර්ධනය කිරිම මීට පෙර ක්‍රියාත්මක වුවද, එය අතරමැද නතර වුනා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව මෙවර මෙම රෝහල සංවර්ධනය කරනු ලබනවා.”

 
"සෞඛ්‍ය අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධීක්ෂණ ඒකකයක් ස්ථාපිත කිරිම සඳහා කැබිනට් අනුමැතිය ලබාගෙන තිබෙනවා. මේ යටතේ රුපියල් මිලියන 300 වඩා ඉදිකිරිම් කළමනාකරණය කිරීමට නියමිතයි. මෙම ඒකකය සඳහා ඉංජිනේරුවන් වෙනම බඳවා ගන්නවා. මගේ අරමුණ දැනට ආරම්භ කර ඇති ව්‍යාපෘති 2020 වනවිට අවසන් කිරීමටයි. පෞද්ගලික අංශයට වඩා හොද රෝහල් පද්ධතියක් නිර්මාණය කළ යුතුයි. මෙම ව්‍යාපෘතිය ලබාදීම පිළිබඳ ව ප්‍රංශ රජයට, තානාපති කාර්යාලයට මගේ ස්තූතිය පුද කරනවා.” යැයි ද අමාත්‍යවරයා කීය.


මෙම අවස්ථාවට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස, අතිරේක ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, Ideal Medical Product Engineering of France ආයතනයේ උප සභාපති ඔලිවර් මැර්සියම්, ද සොයිසා රෝහලේ අධ්‍යක්ෂ ජයන්ත කරුණාරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, අධ්‍යක්ෂවරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.