• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ආර්ථික වර්ධන වේගය 6% දක්වා ක්‍රමානුකූලව වැඩි කිරීම රජයේ ඉලක්කයයි

prime minRW2017රජය ගෙන යන ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළ අනුව ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 6% දක්වා ක්‍රමානුකූලව වැඩි කිරීම අපේ ඉලක්කය යැයි අග්‍රාම‍ාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(28) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. 



ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්වය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ‍පැවති මෙම මාධ්‍ය හමුවට මුදල් හා ජන මාධ්‍ය ඇමති මංගල සමරවීර, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරුන් ඇතුළු මහ බැංකුවේ ඉහළ නිලධාරීහු ද සහභාගී වූහ.


මෙහිදී තව දුරටත් කරුණු දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දිනවල පැවති ගංවතුර, නාය යෑම් හා නියඟය වැනි ආපදා හේතුකොටගෙන ආර්ථික වර්ධනය විශාල ලෙස පහත වැටෙනු ඇතැයි බියක් තිබූ නමුත් එය එසේ නොවන බවත් ආර්ථික වර්ධන වේගයේ අඩු වීමක් දක්නට නොමැති බවත් කීය.


ශ්‍රී ලංකාවට ණය ආධාර සපයන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමස්තයක් වශයෙන් අපේ රටේ ආර්ථික වර්ධන කාර්යය සාධනය සතුටුදායක බව පවසා ඇත. එම අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත ඇමරිකානු ඩොලර් මිලියන 501.5න ණය මුදලේ දෙවැනි වාරිකය වන මිලියන 167.2ක් ඒ අනුව මුදා හැරීමට තීරණය කොට තිබේ. 


ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යා ලේඛන අනුව මේ වසරේ මෙරටේ ආර්ථික වර්ධන වේගය 4.5%ක් වන නමුත් 5% දක්වා වර්ධනය කර ගැනිම රජයේ අපේක්ෂාව වන බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් පැවසීය.
 
 
ඒ සඳහා ජාත්‍යන්තර වෙළඳාම දියුණු කිරීම, සෘජු විදේශ ආයෝජන ලබා ගැනිම, පෞද්ගලික අංශ තව තවත් වර්ධනය කිරීම මගින් රජයේ ආදායම වැඩි කර ගැනීමට පියවර ගනිමින් තිබේ. 
 
 
2011 වසරේ සිට හම්බන්තොට වරායෙන් සිදු වි ඇති පාඩුව රුපියල් බිලියන 46ක් බව පෙන්වා දුන් ඒ මහතා මෙම මුදලින් මේ රටේ ජනගහනයෙන් මිලියන දෙක හමාරකට නොමිලේ බෙහෙත් ලබාදීමට හැකියාව තිබූ බවත් එසේම මේ මුදල තිබුණේනම් අධ්‍යාපනය සඳහා වෙන් කරන මුදල 60%කින් වැඩි කිරීමේ හැකියාව තිබූ බවත් සඳහන් කළේය. හම්බන්තොට වරාය චීන සමාගමට බදු දිමට තීරණය කළේ මෙම විශාල පාඩුව පියවා ගැනීම සඳහා බවද ඒ මහතා කීය.



මේ අතරම රජය ජපානය හා ඉන්දියාව සමග ද වෙළඳ හා ආර්ථික ගිවිසුම් ඇති කර ගැනීමට කටයුතු කරගෙන යන බවත් මේ අනුව රජය අරඹා ඇති ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ යටතේ 2020 වන විට අපට දැනට තිබෙන ණය බර දරාගත හැකි මට්ටමකට ගෙන එන අතර 2025 වන විට එම ණය ප්‍රමාණය සම්පූර්ණයෙන්ම ගෙවා නිම කිරීමට හැකිවනු ඇති බවත් රනිල් වික්‍රමසිංහ මහතා කීය.


මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා 2005 -2014 කාලය තුළ මේ රටේ මුළු ණය ප්‍රමාණය  234%කින් ඉහළ ගොස් ඇති බවත් 2015 ජනවාරි 8 වනදා යහපාලන රජය බලයට පත්වන විට අපට ලැබුනේ මීතොටමුල්ල කුණු කන්ද තරම් විශාල ණය කන්දක් බවත් කීය. මෙම ණය මුදලින් 82%ක්ම රාජපක්ෂ ආණ්ඩුව විසින් ලබාගෙන තිබූ ණය බවත් එකල රජයේ බදු ආදායම 10.1% දක්වා පහත වැටි තිබූ බවත් පැවසු ඒ මහතා මෙම තත්වයට මුහුණ දීම සඳහා රජය විසින් විශාල සංවර්ධන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවද පැවසීය.


රජය  ඉන්දියාව ජපානය හා චීනය වැනි රටවල් සමග පමණක් නොව මෙරටේ ආයෝජනය සඳහා විදේශගත ඩයස්ෆෝරාවට ද ආරාධනය කරන බවත් මංගල සමරවීර මහතා වැඩිදුරටත් කීය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.