• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසිදු බාහිර පාර්ශ්වයකට පවරා නොදෙන බව ජනපති අවධාරණය කරයි

 
He news 2017 8 1කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසිදු හේතුවක් මත කිසිදු බාහිර පාර්ශ්වයකට පවරා නොදෙන බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.



ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ ඊයේ (01) පස්වරුවේ ශී‍්‍ර ලංකා වරාය අධිකාරියේ නැගෙනහිර සැපයුම් පර්යන්තයේ පැවතී ශී‍්‍ර ලංකා වරාය අධිකාරියේ 38 වැනි සංවත්සර උත්සවය අමතමිනි.


හම්බන්තොට වරායට ණය වී නොතිබුණානම් කොළඹ වරාය අද මීට වඩා දියණුවක් කරා ගමන් කොට රටට ප‍්‍රතිලාභ සලසමින් සිටින බව පැවසූ ජනාධිපතිතුමා කෙසේ වුවද එම ණය බරින් නිදහස් වූ කොළඹ වරාය සංවර්ධනය කරමින් ඉදිරියට ගෙන යන බවත්, සියලු සේවකයින්ට අහිමිවූ වරප‍්‍රසාද ලබාදීමට කටයුතු කරන බවත් ප‍්‍රකාශ කළේය.


හම්බන්තොට වරාය සහ අදාළ චීන සමාගම අතර අත්සන් තැබුණු ගිවිසුම සැකසුණේ, සාකච්ඡාවට ලක්වූයේ සහ කැබිනට් අනුමැතිය හිමි වූයේ 2014 වසරේ සැප්තැම්බර් මාසයේදී පෙර පැවති රජයේ පාලන කාලය තුළ බව ද ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය.


එදා ඇතිකරගත් එම ගිවිසුමේ කරුණු බොහෝ බරපතළ වූ අතර වත්මන් රජය සිදුකළේ ඒවා රටට හිතකර අන්දමින් සංශෝධනය කිරීම පමණක් බව පැවසූ ජනාධිපතිතුමා අදාළ ඉඩම් ප‍්‍රමාණය සියයට පනහකින් අඩු කර ගැනීම, ශී‍්‍ර ලංකා ආණ්ඩුවේ නීති රීතිවලට යටත්ව පාලන කටයුතු සිදු කිරීම මෙන්ම බදු පදනම මත විනා මාතෘ භූමියේ බිම් අඟලක්වත් කිසිදු රටකට හෝ විදේශීය සමාගමකට අයත් නොවිය යුතුය යන සංශෝධන ඒ යටතේ සිදු කළ බව කියා සිටියේය.


මීට පෙර මේ රටේ කිසිදු ආණ්ඩුවක් මෙවන් ගිවිසුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොතිබූ අතර තම උපදෙස් පරිදි විනිවිදභාවය වෙනුවෙන් එම ගිවිසුම පසුගියදා පාර්ලිමේන්තුවට ද ඉදිරිපත් කළ බව පැවසූ ජනාධිපතිතුමා නමුත් විපක්ෂය එය ප‍්‍රයෝජනයට නොගත්තේ වඩා බරපතළ කරුණු රැසක් යටතේ ඔවුන් එයට මීට පෙර කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගෙන තිබූ නිසා බව ද පැවසීය.


ඉතිහාසයේ කිසිදු රජයක් සිදු නොකළ අන්දමින් පසුගිය රජය විසින් ගාලු මුවදොරපිටිය ඉදිරිපිට අක්කර 06 ක් ෂැංගි‍්‍රල්ලා සමාගමට සින්නක්කර ඔප්පුවකින් පවරා දී තිබු බවත්, පෝට්සිටි සඳහා ද අක්කර 240 ක් පවරාදීමට සැලසුම් කර තිබුණේ සින්නක්කර ඔප්පුවකින්ම බවත් සඳහන් කළේය.


වත්මන් රජය බලයට පත්වූ පසු, පෝට්සිටි සඳහා පවරාදී තිබු භූමිය බදු ක‍්‍රමයකට වෙනස් කරගත්තද ෂැංග‍්‍රිල්ලා සමාගම සමග අදාළ ගිවිසුමට අත්සන් තබා අවසන්ව තිබූ හෙයින් ඒ සඳහා පියවර ගැනීමට නොහැකි වූ බව ජනාධිපතිතුමා සඳහන් කළේය.


විවේචකයින් කුමන ආකාරයෙන් විවේචන සිදු කළ ද මාතෘ භූමියේ එක් බිම් අඟලක්වත් විදේශ රටකට හෝ විදේශ සමාගමකට පවරා නොදෙන බව තමා එදා මෙන්ම අදත් අවධාරණය කරන බව පැවසු ජනාධිපතිතුමා රට හමුවේ ඇති ආර්ථික අභියෝග ජය ගනිමින් සියලු ජනතාවට සමෘද්ධිමත් රටක ජීවත්වීමේ අවස්ථාව සලසා දෙන බව ද ප‍්‍රකාශ කළේය.


බොහෝ ඉක්මනට බලයට ඒමට ඇතැමුන්ට අවශ්‍ය වුවද වසර 03 කට එහා එන මැතිවරණයකින් මිස ඉන් මෙහා ආණ්ඩුවක් සෑදීමට කිසිදු ක‍්‍රමයක් මේ රටේ නොමැති බව ද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.


ශී‍්‍ර ලංකා වරාය අධිකාරියේ වසර 38 කට වැඩි සේවා කාලයක් සපිරූ සේවකයින්ට සම්මාන පිරිනැමීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය. ශී‍්‍ර ලංකා නිදහස් සේවක සංගමය විසින් ජනාධිපතිතුමා වෙත ද සමරු තිළිණයක් පිළිගැන්වීය.


අමාත්‍යවරුන් වන මහින්ද සමරසිංහ, ජෝන් අමරතුංග, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ගයන්ත කරුණාතිලක, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම යන මහත්වරුන් සහ දෙස් විදෙස් සම්භාවනීය ආරාධිත පිරිසක් ද ශී‍්‍ර ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක‍්‍රම දිසානායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.