• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

රටේත්, ජනතාවගේත් හෙට දවස සුබවාදී කිරීම සඳහා යන ගමනේදී නින්දා අපහාස ගැටලුවක් නොවන බව ජනපති පවසයි



 
He news 2017 8 16 11රටේත්, ජනතාවගේත් හෙට දවස සුබවාදී කිරිම සඳහා යන ගමනේදී නින්දා හා අපහාස තමන්ට ගැටලුවක් නොවන බව ජනාධිපතිතුමා පවසයි.



ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ පන්නිපිටිය, ශී‍්‍ර ධර්ම විජයාලෝක මහා විහාරයට මියන්මාර් දේශයෙන් වැඩම කරවන ලද කිරිගරුඬ බුද්ධ ප‍්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවයට ඊයේ(15) පස්වරුවේ එක්වෙමිනි.


එදා බුදුන් වහන්සේ ද නින්දා අපහාසවලට ලක්වූ අතර වාණිජ්‍යකරණයත් සමග අද පිරිහෙමින් පවතින සමාජය තුළ තමන්ට ද නින්දා අපහාස එල්ලවීම පිළිබඳ පුදුම නොවන බව ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.


එමෙන්ම අසල්වාසී මහා භාරතයේ නිදහස් සටනට උරදුන් මහත්මා ගාන්ධිතුමන් මෙන්ම මෙරට පුරෝගාමී දේශපාලන නායකයෙකු වූ බණ්ඩාරනායක ශි‍්‍රමතාණන් ද රටත්, ජනතාවත් වෙනුවෙන් සිය යුග මෙහෙවර ඉටු කරද්දී නින්දා අපහාසවලට ලක්වූ ආකාරය ජනාධිපතිතුමා සිහිපත් කළේය.


අද දවසේ නවීන තාක්ෂණය භාවිතා වන්නේ දැනුම ලබාගැනීමට, සමාජ සංවර්ධනයට හෝ යහපත් සමාජයක් ගොඩනැගීමට වඩා නින්දා අපහාස සිදු කිරීම වැනි අයහපත් තත්ත්වයන්ට බව මෙහිදී පෙන්වාදුන් ජනාධිපතිතුමා මෙම අයහපත් සමාජ තත්ත්වයෙන් තරුණ පරපුර ගලවා ගැනීම සඳහා ඔවුන් තුළ ආධ්‍යාත්මික සංවර්ධනය ගොඩනැගිය යුතු බවද ප‍්‍රකාශ කළේය.


අභිනව බුද්ධ ප‍්‍රතිමා වහන්සේ වෙත පුෂ්පෝපහාර දැක්වූ ජනාධිපතිතුමා එය මහජනතාවගේ වන්දනාමාන කටයුතු සඳහා විවෘත කරනු ලැබීය.


මියන්මාරයේ යැංගොන් නුවර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති පූජ්‍යපාද බදන්තා සද්ධම්මකීත්ථිසාර නාහිමිපාණන් වහන්සේ විසින් ජනාධිපතිතුමා වෙත සිහිවටන තිළිණයක් පිළිගැන්වීය.


ශ්‍යාමෝපාලී මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ මහානායක රුක්මලේ ශී‍්‍ර ධර්මවිජයාලෝක මහා විහාරාධිපති සාහිත්‍යසූරි ආචාර්ය අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහානායක ස්වාමීන් වහන්සේ ද බැහැ දුටු ජනාධිපතිතුමා උන්වහන්සේගේ සුව දුක් විමසීය.


රාමඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි නායක ස්වාමීන් වහන්සේ, මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනායක ස්වාමීන් වහන්සේ, පූජ්‍ය යටිරාවන සීලානන්ද නායක ස්වාමීන් වහන්සේ ප‍්‍රමඛ මහා සංඝරත්නය ද, අමාත්‍යවරුන් වන විජයදාස රාජපක්ෂ, දයා ගමගේ, බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය යන මහත්වරුන් ඇතුළු පළාතේ මැති ඇමතිවරු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.