• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජාතික අධ්‍යාපන ග්‍රන්ථ නාමාවලියක් යටතේ පාසල් පුස්තකාලවලට ගුණාත්මක පොත් ලබාදීමේ වැඩපිළිවෙළක්

 
Education news 2017 8 15අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සංකල්පයක් යටතේ ක්‍රියාවට නංවා ඇති ‘ළඟම පාසල හොඳම පාසල’ වැඩසටහන මඟින් ඉතිහාසයේ පළමුවරට ජාතික අධ්‍යාපන ග්‍රන්ථ නාමාවලියකට අනුව ඉහළ ගුණාත්මකබවින් යුත් පුස්තකාල පොත් පාසල් පුස්තකාල වෙත ලබාදීමට කටයුතු යොදා ඇත.


මේ සඳහා යෝග්‍ය ගුණාත්මක පොත් නිර්ණය කිරීමට පසුගිය 08,09 දෙදින තුළ අධ්‍යාපන ප්‍රකාශන ග්‍රන්ථ උපදේශන මණ්ඩලය විසින් විශේෂ සමීක්ෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. මේ වනවිට අධ්‍යාපන ප්‍රකාශන ග්‍රන්ථ උපදේශන මණ්ඩලයේ ලියාපදිංචි වී සිටින විෂය සමීක්ෂකවරුන් සම්බන්ධ කරගනිමින් ‍පාසල් පුස්තකාල පරිහරණය සඳහා යෝග්‍ය පොත් නිර්ණය කිරීම එහි දී සිදු කෙරුණු අතර, පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ එක් එක් ප්‍රකාශන ආයතන මඟින් මේ සඳහා යෝජිත පොත් සාම්පල සමීක්ෂණ කටයුතු සඳහා යොමු කර තිබුණි.


අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පළ කරන ලද පුවත්පත් දැන්වීමට ප්‍රතිචාර දැක්වු කර්තෘ ප්‍රකාශකයින් ද සිය ප්‍රකාශන මීට එක්කර තිබීම විශේෂත්වයකි.


සමීක්ෂණ වැඩසටහනෙහි දෙවන අදියර යටතේ ද්වීතීයික ශ්‍රේණිවල (6-13 ශ්‍රේණි) සිසුන්ට කියවීමට සුදුසු පුස්තකාල පොත් සමීක්ෂණ කටයුතු 2017 අගෝස්තු මස 16,17 සහ 18 දිනවල ආරම්භ කීරීමට නියමිත අතර, ඒ සඳහා පොත් ප්‍රකාශකයින් සහ කර්තෘ ප්‍රකාශකයින්ගෙන් පොත් භාර ගැනීම ඊයේ (15 ) දින අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදු කෙරිණ.


පසුගිය අයවැයෙන් අධ්‍යාපනයට වෙන් වූ ඉහළ ප්‍රතිපාදනය තුළ හඳුනාගත් සංවර්ධන ක්ෂේත්‍ර අතර පාසල් පුස්තකාල සංවර්ධනය ප්‍රමුඛ ජාතික අවශ්‍යතාවක් ලෙස සලකා වඩාත් ගුණාත්මක පොත් පාසල් දරුවන් වෙත ලබාදෙමින් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය බලගැන්වීම මෙම වැඩපිළිවෙළෙහි මූලික අපේක්ෂාවයි.


ඒ අනුව 2017 වසර වෙනුවෙන් පාසල් පුස්තකාල පොත් මිළ දී ගැනීම වෙනුවෙන් රුපියල් මිලියන 700ක් පාසල් වෙත ලබාදීමට පියවර ගෙන ඇති අතර, ‍මේ වසරේ එමඟින් ප්‍රතිලාභ ලබන පාසල් සංඛ්‍යාව 3000ක් වේ. එක් සිසුවෙකුට පොත් 10ක් යනුවෙන් පවත්නා ජාත්‍යන්තරව පිළිගත් පොත්-සිසු අනුපාතය (10 Books Per Student) යටතේ පාසල් සිසු සංඛ්‍යාවට සමානුපාතිකව පුස්තකාල පොත් මිළ දී ගැනීමට අදාළ පාසල්වලට අවස්ථාව සලසා තිබේ.


අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් පරිදි, අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටි ආරච්චි මහතාගේ මඟපෙන්වීම යටතේ අධ්‍යාපන ප්‍රකාශන ග්‍රන්ථ උපදේශන මණ්ඩලය හා පාසල් පුස්තකාල සංවර්ධන ශාඛාව විසින් මෙම වැඩසටහනෙහි සම්බන්ධීකරණ කටයුතු සිදුකරනු ලබයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.