• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

නියඟයෙන් හානියට පත්වූ ගොවිබිම්වල ගොවි ජනතාවට වියළි ආහාර සලාක නිකුත්කිරීම විධිමත්ව

peoples2017 8 22නියඟයෙන් හානියට පත්වූ ගොවිබිම්වල, ගොවි ජනතාවට වියළි ආහාර සලාකයක් ලබාදීමට ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දුන් උපදෙස් අනුව එම කටයුතු මේ වන විට විධිමත්ව ක්‍රියාත්මක වෙමින් පවතී.


දිස්ත්‍රික්ක 13ක් ආවරණය වන පරිදි දැනට මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර පිටි, පරිප්පු, සීනි, කඩල හා ටින් මාළු ඇතුළු ආහාර ද්‍රව්‍ය එම වියළි ආහාර සලාකය යටතේ බෙදා දෙනු ලැබේ.


දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප‍්‍රාදේශීය ලේකම්වරුන් විසින් තෝරාගත් ගොවි ජනතාව වෙත සමූපකාර සමිති හරහා මෙම වියළි ආහාර සලාකය නිකුත් කෙරේ.


වියළි කාලගුණයෙන් පීඩාවට පත් ගොවි ජනතාවගේ ගැටලු පිළිබඳ ව සොයා බැලීමට ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පසුගිය ජූලි 30 වනදා හදිසියේම කැබිතිගොල්ලෑව ප‍්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

අඛණ්ඩව කන්න තුනක් වගා කටයුතු සිදු කිරීමට නොහැකිවීම හේතුවෙන් ආර්ථික දුෂ්කරතාවයන්ට මුහුණදී සිටින එම ගොවි ජනතාවට සහන සැලසීම සඳහා ජනාධිපතිතුමා එහිදී ලබාදුන් උපදෙස් පරිදි මෙම වියළි ආහාර සලාකය ලබාදීම සිදු කෙරේ.


එමෙන්ම නියඟය පවතින ප‍්‍රදේශවල ජනතාවට අවශ්‍ය පානීය ජලය බෙදාදීමේ කටයුතු ද මේ වන විට විධිමත්ව සිදු කෙරෙන අතර එහිදී දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප‍්‍රාදේශීය ලේකම්වරුන්ට සහය දැක්වීම සඳහා ජනාධිපතිතුමා විසින් ශ්‍රි ලංකා යුධ හමුදා නිලධාරීන් ද යොමු කර තිබේ.


මේ අනුව වියළි කාලගුණයෙන් පීඩාවට පත් දිස්ත්‍රික්ක 20 ක ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 117ක දෙලක්ෂ පනස්දහසක ජනතාවකගේ පානීය ජල අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මකය.


මේ අතර මෙම කටයුතු තවදුරටත් විධිමත් කිරීම පිළිබඳව සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතාගේ ප‍්‍රධානත්වයෙන්  ඊයේ (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.


ජනාධිපති කාර්යාලය, ආපදා කළමනාකරණ අමාත්‍යාංශය, නගර සැලසුම් සහ ජලසම්පාදන අමාත්‍යාංශය, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මෙන්ම මුදල් අමාත්‍යාංශයේ නියෝජිතයින් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.


පීඩාවට පත් ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සපුරාලීම සඳහා ගෙන යන වැඩපිළිවෙළ තවදුරටත් පුළුල් කරමින් රාත්‍රී කාලයේද ජල සැපයුම ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව මෙහිදී අවධානය යොමු කෙරුණු අතර අලුතින් ජල බවුසර් ලබා ගැනීම පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය.


එමෙන්ම එම ජනතාවගේ සෙසු අවශ්‍යතා සඳහා ජලය ලබාදීමේ ක‍්‍රමවේදය මෙන්ම වනජීවින් සඳහා ජලය සැපයීමේ කටයුතු පිළිබඳව ද අවධානය යොමු කෙරුණු අතර එම කටයුතු අඛණ්ඩව ක්‍රියාවට නැංවීමට තීරණය කෙරිණි.


මේ අතර අනුරාධපුර, ශ‍්‍රාවස්තිපුර ප‍්‍රදේශයේ නියඟයෙන් හානියට පත්වූ ගොවිබිම් ප‍්‍රදේශවල වෙසෙන ජනතාවට වියළි ආහාර සලාක ලබාදීමේ වැඩසටහනේ පළමු අදියර යටතේ පවුල් දාහකට වියළි ආහාර සලාක නිකුත් කිරීම ඊයේ (21) පෙරවරුවේ ශ‍්‍රාවස්තිපුර විවිධ සේවා සමූපකාර සමිති පරිශ‍්‍රයේ දී සිදු විය.


ප‍්‍රදේශයේ ඒ සඳහා සුදුසුකම් ලබා ඇති පවුල් සංඛ්‍යාව 4500 කි. ඉතිරි පවුල් සඳහා ද වියළි ආහාර සලාක නිකුත් කිරීම කඩිනමින් සිදු කෙරේ.


අනුරාධපුර නගරයේ විවිධ සේවා සමූපකාර සමිතිය හරහා ද වියළි ආහාර සලාක නිකුත් කිරීම අද පෙරවරුවේ සිදු විය.


නැගෙනහිර නුවරගම් පළාතේ පීඩාවටපත් ගොවිජනතාව වෙනුවෙන් මෙම සමූපකාර සමිතිය හරහා වියළි ආහාර සලාක නිකුත් කෙරෙන අතර සුදුසුකම් ලැබූ පවුල් 4616 ක් අතුරින් පවුල් 3000 කට ආසන්න පිරිසකට මේ වන විට වියළි ආහාර සලාකය නිකුත් කිරීම සිදු කර තිබේ.


දරුණු නියඟය හමුවේ තම ගොවි බිම්වලට හානි පැමිණීම හේතුවෙන් මහත් ආර්ථික අසීරුතාවයකට මුහුණදී සිටින තමන්ට මෙම අවස්ථාවේ ලැබෙන මෙම සහනය පිළිබඳව එම ජනතාව ජනාධිපතිතුමා වෙත සිය කෘතඥතාවය පළ කර සිටි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.