• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

නියඟයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙළ ජනපතිගේ අධීක්ෂණයට

He news 2017 8 29දිවයිනේ ප‍්‍රදේශ ගණනාවකට බලපා ඇති වියළි කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා රජය ගෙනයන වැඩසටහන්වල ප‍්‍රගතිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ අධීක්ෂණයට ලක් විය.

 


අදාළ සියලු අංශවල නිලධාරින්ගේ සහභාගිත්වයෙන් අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවතී සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මේ පිළිබඳ නිලධාරින්ගෙන් කරුණු විමසීය.


නියං තත්ත්වය හේතුවෙන් ආර්ථික අපහසුතාවයන්ට ලක්ව ඇති ගොවිබිම් ප‍්‍රදේශවල ජනතාවට වියළි ආහාර සලාකය ලබාදීමේ කටයුතු මේ වන විට විධිමත් අයුරින් ක්‍රියාවට නංවා තිබෙන අතර එම කටයුතු ක්‍රියාත්මකවන ආකාරය පිළබඳවද ජනාධිපතිතුමා කරුණු විමසීය.


එමෙන්ම ජනතාවට අවශ්‍ය පානීය ජල පහසුකම් සැපයීම සඳහා ක්‍රියාවට නංවා ඇති වැඩපිළිවෙළේ ප‍්‍රගතිය පිළිඳව  කරුණු විමසූ ජනාධිපතිතුමා එම කටයුතු තවදුරටත් කාර්යක්ෂම කිරීම සඳහා ජල බවුසර් 100 ක් මිලදී ගැනීමට අදාළ නිලධාරින්ට උපදෙස් දුන්නේය.


නියඟයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු අධීක්ෂණය කිරීම වෙනුවෙන් ජනාධිපතිතුමා විසින් ත්‍රිවිධ හමුදා නිළධාරින්  යොදවා තිබෙන අතර, අදාළ වැඩසටහන් සඳහා ඔවුන්ගේ දායකත්වය ද මෙහිදී සමාලෝචනය කෙරිණි.


පීඩාවට පත් වනජීවින් සඳහා ජලය සහ ආහාර ලබාදීමේ වැඩසටහන් පිළිබඳව ද ජනාධිපතිතුමා සොයා බැලීය.


කාලගුණික සහ දේශගුණික විපර්යාසයන් හමුවේ ඉදිරියේදී ඇතිවිය හැකි දැඩි නියං තත්ත්වයන් සඳහා මුහුණදීමට දැන් සිටම සූදානම්වීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිතිතුමා  අදාළ පර්යේෂණ කටයුතුවල නිරතවෙමින් දීර්ඝ කාලීන සැලසුම් ඔස්සේ එම අභියෝගය ජය ගැනීමට රටක් ලෙස සූදානම්වීමේ අවශ්‍යතාවය ද පැහැදිලි කළේය.


අමාත්‍යවරුන් වන වජිර අබේවර්ධන, අනුර ප්‍රියදර්ශන යාපා, මංගල සමරවීර, ෆයිසර් මුස්තාෆා යන මහත්වරුන් ද ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ ආරක්ෂක අංශ ප‍්‍රධානීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.


මේ අතර නියගයෙන් පීඩාවට පත් ජනතාවට අවශ්‍ය පානීය ජල පහසුකම් සැපයීමේ කටයුතු තවදුරටත් පුළුල් කිරීම සඳහා යුනිසෙෆ් ආයතනය විසින් පරිත්‍යාග කළ ජල බවුසර් 04 ක් යුනිසෙෆ් ශ්‍රී ලංකා නියෝජිත Tim Sutton මහතා ඇතුළු නියෝජිත පිරිස විසින් ජනාධිපතිතුමා වෙත නිල වශයෙන් භාරදීම ද මෙහිදී සිදු කෙරිණි.


අනතුරුව ජනාධිපතිතුමා විසින් එම ජල බවුසර්වලට අදාළ ලිපි ලේඛන නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම්, නියෝජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ සහ අමාත්‍යාංශ ලේකම් සරත්චන්ද්‍ර විතාන යන මහත්ම මහත්මීන් වෙත භාරදෙනු ලැබිය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.