• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මඩකලපුව, කරදියනාරු කෘෂිකර්ම සේවා මධ්‍යස්ථානය ජනාධිපති අතින් විවෘත කෙරේ

He news 2017 9 1මෙරට කෘෂිකර්ම සහ කර්මාන්ත ක්ෂේත‍්‍රයේ පුළුල් පරිවර්තනයක් සිදු කරමින් රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා තමා විසින් පසුගියදා පත් කරන ලද ජාතික ආර්ථික සභාව මෙම 12 වනදා පළමු වරට රැස්වන බව ජනාධිපතිතුමා පවසයි.
 


ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව එම වැඩසටහන සඳහා අවශ්‍ය මූල්‍ය ප‍්‍රතිපාදන ලබාදීමට එකඟතාවය පළ කර තිබෙන අතර රටේ ජනතාවගේ ආර්ථිකය මෙන්ම ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම උදෙසා එම වැඩසටහන සාර්ථක කර ගැනීමට හැකිවනු ඇතැයි තමා විශ්වාස කරන බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.


ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ මඩකලපුව, කරඩියනාරු කෘෂිකර්ම සේවා පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (31) පෙරවරුවේ එක් වෙමිනි.


 
වියළි කාලගුණික තත්ත්වය පහව ගොස් ඉදිරි මාසයේදී එළැඹෙන වැසි සමයත් සමග කෘෂිකාර්මික සංග‍්‍රාමයක් සඳහා රටම සුදානම් විය යුතු බව ද ජනාධිපතිතුමා මෙහිදී ප‍්‍රකාශ කළේය.


ඔක්තෝම්බර් මාසයේ පළමු සතිය ජාතික ගොවි සතියක් බවට ප‍්‍රකාශයට පත්කරන අතර මුළු රටම ඒකරාශිකරගත් පුළුල් කෘෂිකර්ම වැඩසටහනක් එම සතියේදී කි‍්‍රයාවට නැංවීමට සැළසුම්කර තිබෙන බව සඳහන් කළ ජනාධිපතිතුමා ඒ සඳහා සියලු අමාත්‍යාංශ සහ සියලු ආයතන එක්විය යුතු බවට කැබිනට් තීරණයකට එළැඹෙන බව ද කියා සිටියේය.


මෙම කෘෂිකර්ම වැඩපිළිවෙළ යටතේ කුඹුරු හෙක්ටයාර් ලක්ෂ 08 ක් වගා කිරීම සිදු කෙරෙන අතර ඒ සඳහා අවශ්‍ය බිත්තර වී බුසල් හතළිස් ලක්ෂයම රජය විසින් ගොවි ජනතාවට ලබාදීමට සූදානම් බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.


සියලු සංවර්ධන වැඩසටහන්වලදී රජය ප‍්‍රමුඛතාවය ලබාදී තිබෙන්නේ රටේ ජනතාව දුප්පත්කමින් මුදවාගෙන ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා කුමන අභියෝග හමුවේ වුවද රටේ ජනතාව කුසගින්නේ තැබීමට තමා සූදානම් නොමැති බවද අවධාරණය කළේය.


දිවයිනට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ති‍්‍රක්ක 14 පවුල් ලක්ෂ 08 ක පමණ ජනතාවක් පීඩාවට පත්ව සිටින අතර ඔවුන් මුහුණදී ඇති ආර්ථික ගැටලු පිළිබඳ අවධානය යොමු කර වියළි ආහාර සලාකයක් ලබාදීමට ගත් තීරණය අනුව ඒ සඳහා රුපියල් කෝටි 310 ක වැඩි මුදලක් මාසිකව රජය වැය කරන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.


කරඩියනාරු සේවා පුහුණු මධ්‍යස්ථානය 1980 දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කරන ලද අතර 1986 වර්ෂයේ පැවති යුධමය වතාවරණය යටතේ එය වැසී ගියේය. 2016 වර්ෂයේ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීමෙන් යුරෝපීය සංගමයේ මූල්‍යමය ආධාර යටතේ රුපියල් මිලියන 83 ක හා ශී‍්‍ර ලංකා රජයේ රුපියල් මිලියන 20 ක ආධාර මත මෙන්ම එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සහයෝගයෙන් මෙම ව්‍යාපෘතිය කි‍්‍රයාවට නංවන ලදී.


ගොවින්ගේ නිෂ්පාදන හා ඵලදායීතාවය ඉහළ නැංවීම, ජල හා පස් සම්පත කළමණාකරණය, වාණිජ්‍යමය කෘෂිකර්මයක් සඳහා ඉඩලබාදීම, නවීන තාක්ෂණය යටතේ කෘෂිකර්ම නවීකරණය, පරිසර මානවවාදී හා පාරිසරික ක‍්‍රමවේදය යටතේ නවීන ගොවිපල ක‍්‍රමය ප‍්‍රවර්ධනය කිරීම මෙහි අරමුණු වෙයි.


සමරු ඵලකය නිරාවරණය කර කෘෂි අභ්‍යාස ආයතනය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය. කෘෂි අභ්‍යාස ආයතනයේ නව වෙබ් අඩවිය විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.


නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම, ප‍්‍රධාන අමාත්‍ය නසීර් අහමඩ්, නියෝජ්‍ය අමාත්‍ය අමීර් අලී යන මහත්වරුන් ද, නැගෙනහිර පළාත් ඇමතිණි ආරියවතී ගලප්පත්ති, නැගෙනහිර පළාත් කෘෂිකර්ම අමාත්‍ය තුරෙයිරාස සිංගම් යන මහත්වරුන් ඇතුළු පළාතේ මැති ඇමතිවරු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
 
 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.