• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

දුරස්ථ ග්‍රහණ ආසියානු සමුළුව ඔක්තෝබර් මස 17 සිට 21 දක්වා කොළඹදී

Conferenceවාර්ෂිකව පවත්වනු ලබන දුරස්ථ ග්‍රහණ ආසියානු සමුළුව(Asian Association on Remote Sensing) ඉඩම් අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් මස 17සිට21 දක්වා කොළඹගලදාරී හෝටලයේ දී පැවැත්වේ.

මෙවර සමුළුව “තිරසාර සංවර්ධනය සඳහා අවකාශීය දත්ත යටිතල ව්‍යුහය” යන තේමාව යටතේ පැවැත්වේ. දුරස්ථ ග්‍රහණ ආසියානු සමුළුව යනුආසියාවේ සියලු ම රාජ්‍යයන්හි දුරස්ථ ග්‍රහණය පිළිබඳ විද්වතුන් එක්රැස්වී තමන් විසින් එම ප්‍රගුණ කරගත් තම දැනුම අනිකුත් සමාජිකයින් අතර බෙදා හදා ගැනීම සඳහා පවත්වන සමුළුවකි.

එනම් චන්ද්‍රිකා ඡායාරූප, ගුවන් ඡායාරූප, චන්ද්‍රිකා භාවිතයෙන් පිහිටීම නිශ්චය කරගැනීම(GPS) භාවිතයෙන් අවකාශීය දත්ත පිළියෙල කිරීම හා එම දත්ත භාවිතයෙන් විවිධ සිතියම් සකස් කිරීම හා එම තොරතුරු ආශ්‍රිතව පරිසර කළමනාකරණය පිළිබඳ ව මෙහිදී සාකච්ඡා කෙරේ.

තවද ජෛව විවිධත්ව හා සංරක්ෂණය, දේශගුණික විපර්යාස අවමකිරීම් ආදිය සඳහා පර්යේෂණ කිරීම තුළින් විශේෂයෙන් ම ආසියානු රටවල ස්ථිරසාර සංවර්ධනය ස්ථාපනය කිරීමේදී පැන නගින විවිධ පාරිසරික ගැටලු සහ ආපදා අවම කර ගැනීම සඳහා යොදා ගත හැකි භූ අවකාශීය තාක්ෂණය ආදී විෂයන් පිළිබඳව සාකච්ඡාවට බඳුන් වනු ඇත.මෙවර සමුළුවේ සත්කාරක රට ලෙස ශ්‍රී ලංකාව තෝරා ගෙන ඇති අතර මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් සමුළුව සංවිධානය කෙරේ. සමුළුවේ සභාපතිවරයා ලෙස සර්වේයර් ජනරාල් පී.එම්.පී.උදයකාන්ත මහතා නිල බලයෙන් පත් කෙරේ.

ආසියාවේ 37 වෙනි වරට හා ශ්‍රී ලංකාවේ සිව්වැනි වතාවට පැවැත්වෙන මෙම සමුළුවේ අරමුණ වන්නේ තොරතුරු හුවමාරුව තුළින් දුරස්ථ ග්‍රහණ ප්‍රවර්ධනය සහ ආසියානු ෆැසිපික් කලාපයේ සාමාජික රටවල් අතර අන්‍යොන්‍ය සහයෝගීතාවය හා අන්තර් ජාතික අවබෝධය ප්‍රවර්ධනය කිරීමය.වෘත්තිකයින්, පර්යේෂකයින්, විද්වතුන්, විද්‍යාඥයින්, කර්මාන්ත ව්‍යාපාරිකයින්, දුරස්ථ ග්‍රහණ තාක්ෂණය භාවිත කරන්නන් සහ ඒ හා සම්බන්ධ ක්ෂේත්‍ර අතරට නවත ම අවකාශීය තොරතුරු තාක්ෂණයන් හඳුන්වාදීම ද මෙම සමුළුව හරහා සිදු කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ සිදුවන කඩිනම් සංවර්ධන වැඩසටහන් වේගවත් කිරීමට උපකාර කර ගත හැකි මෙම  තාක්ෂණයන් අතරට මැනුම් දත්ත රැස්කිරීමේ නව ක්‍රමවේදයන් ද හඳුන්වා දීමට අවස්ථාවක් ලබා දී ඇත.

තීරණ ගැනීමේදී සහ සංවර්ධන සැලසුම් කිරීමේදී යාවත්කාලීන කරන ලද අවකාශීය තොරතුරු පවත්වා ගැනීම ඉතා වැදගත් වේ. එමෙන්ම අවකාශීය තොරතුරු සම්බන්ධයෙන් සලකා බැලිය යුතු තවත් වැදගත් කරුණක් වන්නේ හදිසි ආපදා අවස්ථාවලදී මෙම තොරතුරු  හුවමාරු කර ගැනීමේ හැකියාවයි. 

මෙහිදී තොරතුරු  හුවමාරු කර ගැනීමේ අරමුණින් ආයතනික සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම හා වෘත්තිකයන් අතර වඩා යහපත් සහයෝගීතාවයක් වැඩි දියුණු කිරීම හරහා ප්‍රජාවට වඩාත් යහපත් සේවාවක් සැපයීමේ ප්‍රවණතාවයන් හඳුනා ගැනීම ද මෙම සමුළුව හරහා සිදු කිරීමට අපේක්ෂිතය.මෙම අවස්ථාවට ඉඩම් අමාත්‍ය ජෝන් අමරතුංග මහතා,  ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා ඇතුළු දුරස්ථ ග්‍රහණ විෂයය සම්බන්ධ දෙස් විදෙස් විද්වතුන් 600 කට අධික පිරිසක් සහභාගී වීමට නියමිතව ඇත.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.