• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

එ.ජා.ප. 71 වන සංවත්සරයේ ප්‍රධාන රැස්වීම රත්නපුරේදී

PM news 2017 9 7එක්සත් ජාතික පක්‍ෂයේ 71 වන සංවත්සරයේ ප්‍රධාන රැස්වීම ලබන 10 වැනි දා  උදේ 10.00 ට රත්නපුරයේදී පැවැත්වෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

 



එක්සත් ජාතික පක්ෂයේ 71 වන සංවත්සරය වෙනුවෙන් "සිරිකොත", එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේ අද (06) පැවැති ආගමික වතාවත්වලට සහභාගීවීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.


එහිදී සිදු කර තිබෙන සහ සිදුකිරීමට නියමිත සියලු වැඩකටයුතු පිළිබඳව සියලු දෙනා දැනුවත් කරන බවත්  පාක්ෂිකයින්ගේ බලාපොරොත්තු රැසක් තිබෙන අතර ඒවා ඉටු කිරීම වෙනුවෙන් කටයුතු කරන බවත් අගමැතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.


ගමැතිවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය.


" අපේ ආණ්ඩුවේ සංවර්ධන වැඩකටයුතු නිසාම මෙම ස්ථානයට පැමිණීම අද තරමක් ප්‍රමාද වුණා. ඒ රාජගිරිය ප්‍රදේශයේ ඉදිකරන නව ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු හේතුවෙන් මාර්ග තදබදයට මුහුණදීමට අපට සිදුවූ නිසයි. මෙතෙක් කල් කවුරුත් නොකළ වැඩකටයුත්තක් ආරම්භ කළ විටදී ඉදහිට එවැනි ගැටළු සඳහා මුහුණදීමට සිදුවනවා.


රාජපක්‍ෂ රෙජිමය මේ පිළිබඳව අවුරුදු 10 ක් තිස්සේ කතා කළත් මුදල් නොමැතිකම හේතුවෙන් ඔවුන් එය ක්‍රියාවට නැගුවේ නැහැ. නමුත් අපේ ආණ්ඩුව බලයට පැමිණි විට ස්පාඤ්ඤ රජයේ ආධාර මත රාජගිරියේ ගුවන් පාලම ඉදිකිරීමේ කටයුතු ආරම්භ කළා. මෙය අපේ සංවර්ධනය සඳහා එක් උදාහරණයක් පමණයි. රට පුරාම මෙවැනි උදාහරණ ගණනාවක් තිබෙනවා.  


අපේ රටේ ණය බර අපේ පරම්පරාවේදීම විසඳන බව අපි ප්‍රධාන වශයෙන් පැවසුවා. අප මේ වනවිට ඒ තත්ත්වය පාලනය කර තිබෙනවා. ඉදිරි වසර දෙක-තුනත් ණය බර පාලනය කරමින් කටයුතු කරනවා නම් අනාගත පරම්පරාවට එය ගැටළුවක් වන්නේ නැහැ. ඒ වගේම අපි මේ වනවිට ජාත්‍යන්තර වශයෙන් විශාල ප්‍රසාදයක් ද දිනාගෙන තිබෙනවා. ගත වූ කාලය තුළ අපේ ආණ්ඩුව කළ සියලූ වැඩකටයුතු පැවසීමට නම් මට අතිවිශාල කාලයක් අවශ්‍යයි. 


අපි පොරොන්දු වූ තවත් ප්‍රධාන කාරණයක් වන්නේ රටේ තරුණ තරුණියන්ට රැකියා අවස්ථා බිහිකර දීමයි. මේ වනවිට අපි විධිමත්, අවිධිමත් සහ ස්වයං රැකියා ආදී අංශයන්ගෙන් රැකියා අවස්ථා ලක්‍ෂ 4 ක් බිහිකර තිබෙනවා. ඉදිරියේදී එම රැකියාවල ආදායම තවත් වැඩිකරන අතරම, අනෙක් තරුණ තරුණියන් සඳහා ද රැකියා අවස්ථා ලබාදීමට අපි කටයුතු කරනවා. 


ඒ වගේම විවිධ නිවාස ක්‍රම හරහා නිවාස ලක්‍ෂ 2ක් ඉදිකිරීම සඳහා වන වැඩකටයුතු අප මේ වනවිට ආරම්භ කර තිබෙනවා. ග්‍රාමීය හා නාගරික නිවාස ක්‍රම, උතුරේ නිවාස ක්‍රම, වතුකරයේ නිවාස ක්‍රම ආදී වැඩසටහන් ගණනාවක් හරහා එම නිවාස ලක්‍ෂ 2 ඉදිකෙරෙනවා. මේ රටේ ඉන්ධන මිල 22% කින් පහළ දැමීමට අපට හැකි වුණා. පසුගිය කාලයේ රාජපක්‍ෂ රෙජිමය ඉන්ධන මිල වැඩිකිරීම හරහා විශාල ලාභයක් උපයාගෙන තිබුණා. ඉන්ධන මිලෙන් එවැනි අතිවිශාල ලාභයක් ලබාගැනීමට අපට අවශ්‍ය නැහැ. ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිලට අනුව ඉන්ධන ලබාදීමයි අපේ අරමුණ. එවිට ඉන්ධන මිල පහළ බසින කාලයේ ජනතාවට වාසිදායක ලෙසත්, ඉන්ධන මිල ඉහළ යන අවධියේදී ජනතාවට ලෝක වෙළෙඳපොළේ මිලට අනුවත් ඉන්ධන ලබාගැනීමට හැකි වනවා. 


එමෙන්ම ගැබිණි මව්වරුන්ට රුපියල් 20,000 ක දීමනාවක් අපි ලබාදුන්නා. ගැබිණි මව්රුන් කාලයේ අවශ්‍ය වියදම් සඳහා ප්‍රමාණවත් මුදල් සෑමදෙනාටම සොයාගත නොහැකියි. එසේනම් අප ලබාදෙන රුපියල් 20,000 ක පෝෂණ මල්ල හරහා නීරෝගීමත් දරුවෙක් බිහිකිරීමට ගැබිණි මව්වරුන්ට හැකියාව ලැබෙනවා. 


රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් 10,000 කින් වැඩිකිරීමටත් අප කටයුතු කළා. එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් පැමිණ විට රජයේ සේවකයන්ට රැකියා අහිමි වන බව එදා රාජපක්‍ෂ රෙජිමය පැවසුවා. නමුත් අපේ ජාතික ආණ්ඩුව හරහා සිදු වුණේ රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් 10,000 කින් වැඩිකිරීමයි. මේ රටේ දරුණු ගණයේ අපරාධ 30% කින් අඩු කිරීමටත් අපට හැකි වුණා.


මේ සියලූදේ ගතවූ වසර දෙකහමාර තුළ අප සිදු කළ කටයුතුවලින් කොටසක් පමණයි. රැකියා ලක්‍ෂ 4ක් බිහි කළා. නිවාස ලක්‍ෂ 2 කින් ඉදිකිරීම් කටයුතු ආරම්භ කළා. ඉන්ධන මිල 22% කින් අඩු කළා. ගැබිණි මව්වරුන්ට රුපියල් 20,000 ක දීමනාවක් ලබාදුන්නා. රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් 10,000 කින් වැඩි කළා. දරුණු ගණයේ අපරාධ 30% කින් අඩු කළා. මෙවැනි තවත් වැඩකටයුතු ගණනාවක් අපේ රජය මේ රට වෙනුවෙන් සිදු කර තිබෙනවා. 


එමෙන්ම නව දේශපාලන සම්ප්‍රදායක් ඇති කරමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමට අපට හැකි වුණා.


ඩී.එස්. සේනානායක මැතිතුමා විසින් මීට වසර 71 කට පෙර රටට වැඩදායී දේශපාලන පක්‍ෂයක් බිහි කළා. එතුමා යටතේ රටේ විශාල දියුණුවක් ඇති වුණා. ඉන්පසුව ඩඩ්ලි සේනානායක, ශ්‍රීමත් ජෝන් කොතලාවල ආදී නායකයන් යටතේ පක්‍ෂයේ වැඩකටයුතු ඉදිරියට ගෙන ආවා. ඒ යටතේ රටේ කඩාවැටුණු ආර්ථිකය නැවතත් ශක්තිමත් වුණා. 1977 දී ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා යටතේ විශාල සේවයක් මේ පක්‍ෂයෙන් සිදු වුණා. යුද්ධයක් පැවතුණත් සංවර්ධන කටයුතු ඉතා හොදින් සිදු කෙරුණා. ප්‍රේමදාස ජනාධිපතිවරයා යටතේ එම කටයුතු තවත් ඉදිරියට ගෙනාව. එම අවධියේ නිවාස, ඇඟළුම් කර්මාන්ත ආදී ක්ෂේත්‍රයන් තුළ විශාල දියුණුවක් ඇති වුණා. ඩී.බී. විජේතුංග ජනාධිපතිතුමා යටතේත් මෙම සංවර්ධන කටයුතු තවදුරටත් සිදු කෙරුණා.


2002 වසරේදී මට ආණ්ඩු බලය හිමි වුණා. එහිදී කඩාවැටී තිබුණු ආර්ථිකය නඟාසිටුවීමටත්, පසුබැස තිබූ හමුදා බලය ශක්තිමත් කිරීමටත් අපට හැකි වුණා. නැවතත් 2015 වසරේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා යටතේ ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමට අපට හැකි වුණා. ඒ මේ එක්සත් ජාතික පක්‍ෂයට දේශපාලනය පිළිබඳ නව ආකාරයකට සිතීමට ඇති හැකියාවත් රට වෙනුවෙන් සහ රටේ තරුණ පරපුර වෙනුවෙන් ඇති හැඟීම නිසයි. පක්‍ෂයක් ලෙස එක් පවුලක් ආකාරයට කටයුතු කරමින් රටේ සෑම පවුලකම දියුණුව වෙනුවෙන් කටයුතු කිරීම අපේ පක්‍ෂයේ ලක්‍ෂණයයි.  


එක්සත් ජාතික පක්‍ෂයේ 71 වන සංවත්සරයේ ප්‍රධාන රැස්වීම එළඹෙන ඉරිදා උදේ 10.00 ට රත්නපුරයේදී පැවැත්වෙනවා. එහිදී අප සිදු කර තිබෙන සහ සිදුකිරීමට නියමිත සියලූ වැඩකටයුතු පිළිබඳව ඔබව දැනුවත් කරනවා. අපේ වැඩකටයුතු අප තවමත් අවසන් කර නැහැ. අපේ පාක්‍ෂිකයන්ගේ බලාපොරොත්තු ගණනාවක් ඉටුකිරීමට තිබෙනවා. ඒ සඳහා අප එළඹෙන වසර දෙකේදී කැපවනවා. මේ සියලූදේ සඳහා ඔබේ සහයෝගය අපට ලබාදෙන්න යැයි මම ඔබෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම පක්‍ෂය ඉදිරියට මෙහෙයවූ පක්‍ෂයේ හිටපු නායකයන් සියලූ දෙනාටම මම මේ අවස්ථාවේ පිං අනුමෝදන් කරනවා.  "

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.