• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

දැනට වගා නොකරන පෞද්ගලික අංශයේ සියලුම ඉඩම් වගා කළ යුතු බවට නීතිරීති සම්පාදනය කරන බව ජනපති පවසයි

He news 2017 9 11 22වගා නොකරන සියලුම පෞද්ගලික ඉඩම් වගා කරන පිරිස් සඳහා ලබාදීමට පවතින නීති රිති යටතේ ගැසට් නිවේදනයක් නිකුත් කරන බව ජනාධිපතිතුමා පවසයි.


නියඟයෙන් විනාශ වූ ගොවිබිම් නැවත යථා තත්ත්වයට පත්කරමින් ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීමට ලබන මාසයේදී ආරම්භ කිරීමට නියමිත වගා සංග‍්‍රාමය යටතේ එම තීරණයට එළැඹෙන බවද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.


ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ දිඹුලාගල නව ප‍්‍රාදේශීය සභා ගොඩනැගිල්ල පසුගිය (09) පස්වරුවේ ජනතා අයිතියට පවරා දෙමිනි.


මෙම වගා වැඩසටහන සඳහා රජයේ සියලුම ඉඩම් එක්කරගන්නා අතර වගා නොකරන සියලුම පෞද්ගලික ඉඩම් අනිවාර්යයෙන් වගා කළ යුතු බවට නීති රීති සම්පාදනය කරන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.


මෙම සියලු තීන්දු තීරණවලට එළැඹෙන්නේ රටේ ජනතාව දුගී භාවයෙන් නිදහස් කර ගනිමින් රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කර, හෙට උපදින දරු පරපුරට සෞභාග්‍යමත් රටක් ගොඩනගා දීමට බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.


අධ්‍යාපන, සෞඛ්‍ය, සමාජ සුබසාධන යන සියලුම අංශවලට අදාළව රට තුළ ගෙන යන්නේ සමබර සංවර්ධනයක් බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා සංවර්ධනයේ සාධාරණත්වය සහ සැමට බෙදීයන සංවර්ධනයක් වත්මන් රජයේ සංවර්ධන සැලසුම් තුළ අන්තර්ගත බව ද කියා සිටියේය.


සංවර්ධන වැඩපිළිවෙළේදී මෙන්ම ජනතා අවශ්‍යතා ඉටුකිරීමේදී ප‍්‍රශ්නය දෙස බලමින් එම ප‍්‍රශ්නයට විසඳුම් ලබාදෙනු විනා පක්ෂය කුමක්ද කියා අසන ප‍්‍රතිපත්තියක් තමන් තුළ නොමැති බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය. පසුගිය ජනාධිපතිවරණයේදී පොළොන්නරුවේ ජනතාව තමා වෙනුවෙන් ඡන්දය භාවිතා කළේ පක්ෂ, පාට බේදයකින් තොරව බව සඳහන් කළ ජනාධිපතිතුමා පොළොන්නරුවේ පමණක් නොව රට වශයෙන්ම දේශපාලන බේදයෙන් තොරව සියලුදෙනාට සංවර්ධනයේ සාධාරණත්වය ඉටුකරන බව ද අවධාරණය කළේය.


අද වත්මන් රජයට පැවරී ඇති වගකීම වන්නේ තහවුරු කළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ දේශපාලන ප‍්‍රතිවාදීන් එල්ල කරන චෝදනා සහ විවේචන දෙස බලා සිටීම නොව ආණ්ඩුවක් ලෙස තමන්ට පැවරී ඇති වගකීම නොපිරිහෙළා ඉටුකිරීම බවද ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.


ග‍්‍රාමීය පාලන කටයුතු වඩා ශක්තිමත්ව හා කාර්යක්ෂමව ඉටුකිරීමේ අරමුණ පෙරදැරිව උතුරුමැද පළාත් සභාව විසින් රුපියල් ලක්ෂ 70 ක් වැය කරමින් සියලු පහසුකම්වලින් සමන්විතව මෙම ප‍්‍රාදේශීය සභා කාර්යාල ගොඩනැගිල්ල ඉදිකර තිබේ.


අද පස්වරුවේ ප‍්‍රාදේශීය සභා පරිශ‍්‍රය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව එහි බුද්ධ මන්දිරය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත විය. අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර නව ගොඩනැගිල්ල ජනතා අයිතියට පවරා දෙනු ලැබීය. ජනාධිපතිතුමා අතින් ප‍්‍රාදේශීය සභා පරිශ‍්‍රයේ නා පැළයක් ද රෝපණය කෙරිණි.


දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය විල්ලානේ සිරියාලංකාර නායක හිමිපාණන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද, රාජ්‍ය අමාත්‍ය වසන්ත අළුවිහාරේ, උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, උතුරු මැද පළාත් සභාවේ ජයන්ත මාරසිංහ. පළාත් සභා මන්තී‍්‍රවරුන් වන එන්.ඒ සම්පත්, එච්.එම්. අන්සාර් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.