• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ඉන්දු - ශ්‍රී ලංකා පමා වූ ව්‍යාපෘති කඩිනම් කිරීම ගැන ඉන්දීය අගමැති කතා කරයි

2017 වසරේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුමට අනුකූලව ඉන්දු – ශ්‍රී ලංකා හවුල් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දැඩි පමාවක් දක්නට ලැබීම තමන්ගේ කණස්සල්ලට හා කණගාටුවට හේතු වී ඇති බව පැවසූ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා ඒ ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කරලීමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටියේය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එම ඉල්ලීම ඊයෙ (20) දහවල් නවදිල්ලි නුවර හයිද්‍රබාද් මන්දිරයේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා ප්‍රධාන ශ්‍රී ලංකා දූත පිරිස හමුවූ අවස්ථාවේදී ය.

මෝදි මහතා විසින් ශ්‍රී ලංකා දූත පිරිස වෙත දිවා භෝජන සංග්‍රහයක් ද පිරිනමන ලදී.

රාජ්‍ය තාන්ත්‍රික කාර්යයන් සම්බන්ධව තමා වැඩිම කාලයක් වැය කර ඇත්තේ ශ්‍රී ලංකාව වෙනුවෙන් බවත්, ඒසේ වී තිබියදීත් ඉන්දියාව විසින් සිදු කරන සත්කාර්යයන් සඳහා ශ්‍රී ලංකා රජයෙන් ලැබෙන ප්‍රතිචාර සම්බන්ධව තමා කණගාටුවන බවත් පැවසූ මෝදි මහතා තමා පිළිබඳව හෝ ඉන්දීය රජය පිළිබඳව කිසියම් සැකයක් හෝ ගැටළුවක් ඇත්නම් නොපැකිලව සාකච්ඡා කරන ලෙස ද ඉල්ලා සිටියේය.

මෝදි මහතා හෝ ඉන්දීය රජය පිළිබඳව කිසිදු සැකයක් හෝ ගැටලුවක් තමා තුළ හෝ ශ්‍රී ලංකිකයන් තුළ නොමැති බව අවධාරණය කළ වික්‍රමසිංහ මහතා එවැනි වැරදි වැටහීමක් ඇතිවීමට කිසියම්ම හෝ හේතුවක් මුල් විණි නම් ඒ පිළිබඳ කණගාටුව පළ කරන බව පැවසීය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාව වෙත ලබා දෙන සහයෝගය පිළිබඳව සිය කෘතඥතාව පළ කළ වික්‍රමසිංහ මහතා, ව්‍යාපෘති පමාවීම සම්බන්ධව තමාගේ ද දැඩි සැලකිල්ල යොමු වී ඇති බවත්, ව්‍යාපෘති කඩිනම් කරලීම සම්බන්ධව සුදුසු පියවර ගැනීමට අපේක්‍ෂා කරන බවත් පැවසීය.

2015 වසරෙන් පසු ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සබඳතා වඩාත් ශක්තිමත් තලයකට පත් වූ බව පෙන්වා දුන් ඉන්දීය අග්‍රමාත්‍යවරයා, තමන්ගේ අරමුණ අසල්වැසි ශ්‍රී ලංකාවේ සංවර්ධනය හා සමෘද්ධිය බව අවධාරණය කළේ ය. ආර්ථික, සංස්කෘතික හා ආරක්‍ෂක අංශ සලකා බලද්දී දෙරට අතර අඛණ්ඩව පැවතිය යුතු, නොබිඳෙන සමීප සම්බන්ධතාවය අතිශය වැදගත් බව ද ඔහු පෙන්වා දුන්නේ ය.

ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් තමා කත්මණ්ඩු නුවර දී ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡා කළ අවස්ථාවේදී 2017 අවබෝධතා ගිවිසුමට අනුකූළව සියළු කාර්යයන් සිදු කිරීම පිළිබඳව අදහස් හුවමාරු කරගත් බව ද මෝදි මහතා පෙන්වා දුන්නේය.
සුවසැරිය ගිලන් රථ සේවාව ලබා දෙමින් ජීවිත දහස් ගණනක් රැක ගැනීමට මෝදි මහතා දායකත්වය ලබා දීම සම්බන්ධයෙන් සමස්ත ලාංකිකයන් වෙනුවෙන් වික්‍රමසිංහ මහතා කෘතවේදීත්වය පළ කළේය.

ශ්‍රී ලංකාවේ නිවාස ව්‍යාපෘති, යටිතල පහසුකම් සැපයීම් හා වෙනත් සංවර්ධන ක්ෂේත්‍රයන් වෙත ඉන්දියාව ලබා දෙන සහයෝගය අගය කළ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා පිළිබඳ දැනුම ලාකේය ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත ප්‍රදානය කරලීම සඳහා සහය දක්වන ලෙස මෝදි අග්‍රමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ ය.

වතුකරයේ ජනතාව වෙනුවෙන් නිවාස දස දහසක් ඉදි කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සැලසීමට ද කටයුතු කරන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවසීය.
දෙරටේ ආරක්‍ෂක කටයුතු සම්බන්ධව විශේෂ සැලකිල්ලක් යොමු කළ යුතු බව පෙන්වා දුන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විදේශ මැදිහත්වීම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරලීමේ අවශ්‍යතාවය ද පෙන්වා දුන්නේ ය.

ශ්‍රී ලංකාව කිසි විටෙක ඉන්දීය ආරක්‍ෂාවට තර්ජනයක් වන කිසිවක් සිය භූමිය තුළ සිදු කරලීමට ඉඩකඩ නොදෙන බව අවධාරණය කළ වික්‍රමසිංහ මහතා තම රට ලෝකයේ ඕනෑම රටක් සමග එක්ව ක්‍රියා කරන්නේ ආර්ථික හා සංස්කෘතික ක්ෂේත්‍ර සම්බන්ධයෙන් පමණක් බව ද පැහැදිලි කළේය.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රිඩාව හා සම්බන්ධ දූෂණ මැඩපැවැත්ලීම සඳහා සහය ලබා දෙන ලෙස ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.

තම මුදල් අමාත්‍ය අරුන් ජෙට්ලි මහතා ඉන්දීය ක්‍රිකට් දූෂණ මැඩලීම පිළිබඳ ව්‍යාපෘතිය සම්බන්ධ අත්දැකීම් රැසක් ඇත්තෙක් බැවින්, ආරම්භයක් ලෙස ඔහු සමග සාකච්ඡා අරඹන ලෙස මෝදි මහතා දැනුම් දුන්නේය. ඉන්දීය බලධාරීහු වහාම ඒ සාකච්ඡාව සංවිධානය කළහ.

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග, තරුණ කටයුතු ව්‍යාපෘති කළමනාකරණ සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් චිත්‍රාංගනී වාගීෂ්වර සහ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, නියෝජ්‍ය මහකොමසාරිස් එම්. ආර්. කේ. ලෙනගල, අග්‍රාමාත්‍ය විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට එක් වූහ.

 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.