• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මුළු මහත් ජාතියම ඔහුට ණය ගැතියි - ජනපති

amaradewaදේශීය සංගීතයේ අක්මුල් සොයා යමින් එහි රසභාව සුපෝෂණය කරමින් ඔහු විසින් සිංහල සංගීතයට කරන ලද විශිෂ්ට සම්ප්‍රදානයන් නිසා ම මුළු මහත් ජාතියම ඔහුට ණයගැති විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රවීණ සංගීතවේදී, ආචාර්ය පණ්ඩිත් අමරදේව ශූරින් දිවියෙන් සමුගැනීම වෙනුවෙන් ශෝක පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

 

විසිවන සියවසේ මෙලක බිහි යූ අසිරිමත් ගාන්ධර්වයෙකු මෙන් ම අසාමාන්‍ය සංස්කෘතික කලා ප්‍රාඥයෙකු ද වූ පණ්ඩිත් අමරදේවයන්ගේ අභාවය පිළිබඳ ව ශ්‍රී ලංකා රජයේ මෙන් ම මුළු මහත් ජාතියේ ම සංවේගය පළ කරන බවත් ජනාධිපතිතුමා සඳහන් කරයි.

"අමරදේවයන් අයත් වන්නේ ශ්‍රී ලාංකික ජාතික අනන්‍යතාව හා එහි ස්වදේශීය ලකුණු සොයාගිය විශිෂ්ටයන්ගේ හා විදග්ධයන්ගේ පරපුරටය".

"අමරදේව යනු සිංහල සංගීතය මෙන් ම ජාතියේ යශෝරාවය පිළිබඳ සංකේතයක් වැන්න. පණ්ඩිත් අමරදේවයන් භාෂා ශාස්ත්‍ර, සමය, දර්ශනාදියෙහි පාරප්‍රාප්ත වූ බුද්ධිමතුන්ගේ ඇසුරෙන්ද, ස්වකීය ප්‍රතිභා වාසනා ගුණයෙන් ද, ජීවන තක්සලාවෙන් ද නැණ නුවන සියුම් කරගත් ප්‍රාඥයෙක් විය. අමරදේවයන්ගේ මධුර හඬ සිංහල සංස්කෘතික අධ්‍යාත්මයේ පතුලෙන් නැගෙන රාවයන් වැන්න".

"සසර වසන, තුරු රත්නදීප, වැනි ගී දෙක වූවද ඔහුගේ ශ්‍රේෂ්ඨත්වය විශද කරවීමට ප්‍රමාණවත්ය. අමරදේවයන් සිය තුඟ මෙහෙවර නිමවා දැයෙන් සමුගෙන ගියද ඔවුන්ගේ විස්මිත සංගීත කලා සංස්කෘතික පෙළහරේ දීප්තියෙන් අපගේ දේශයේ මතු නොව අපගේ සංස්කෘතික අධ්‍යාත්මයද සදා පිබිදෙනු ඇත".

"සරල නිරහංකාර අපිස් ජීවිතයක පරමාදර්ශයද ඔහු විය. අපගේ දේශය අවදි කළ ජාතියක කටහඬ වුවද එය මතු මතුව බිහිවවන පරපුරට ද ජීවයක් වනු නිසැකය".

පණ්ඩිත් අමරදේව ශූරීන්ට නිවන් සුව අත්වේවා! යි ද ජනාධිපතිතුමා විසින් නිකුත් කළ ශෝක පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.