• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මිහින් ලංකා සේවකයන් ශ්‍රීලංකන් වෙත බඳවා ගනී

Srilankan airline 2016.11.07ශ්‍රීලංකන්  ගුවන් සමාගම විසින් මිහින් ලංකා සේවකයන් බහුතරයක් ගුවන් සමාගම වෙත බඳවා ගැනීමේ ක්‍රියාදාමය යටතේ  මිහින් ලංකා හි ගුවන් මැදිරි කාර්ය මණ්ඩල සාමාජිකයන් 50 දෙනෙකුට අධික පිරිසක් ශ්‍රීලංකන් ගුවන් සමාගම වෙත බඳවා ගැනීමට පසුගියදා කටයුතු කර ඇත.

ඒ අනුව කටුනායක ශ්‍රීලංකන් ගුවන් සේවා මූලස්ථානයේදී  මෙම සේවක පිරිස සඳහා රැකියා පත්වීම් ලිපි ලබාදීම සිදු කෙරිනි. මිහින් ලංකා  ගුවන් සේවයේ සියලු ව්‍යාපාර මෙහෙයුම් මේ වසරේ දෙසැම්බර් මස  31 වැනිදා අවසන් වීමට නියමිත වන හෙයින් එහි කාර්ය මණ්ඩලය සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගමේ රැකියා අවස්ථා හැකිතරම්  ලබාදීමට ගුවන් සමාගම  කටයුතු කර සිටින අතර, එමගින් ශ්‍රීලංකන් හි මෙහෙයුම් අවශ්‍යතා සපුරා ගැනීමට බලාපොරොත්තු  වේ.

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ රැකියා සඳහා බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටියට  අනුව මිහින් ලංකා කාර්ය මණ්ඩලය හා ශ්‍රීලංකන් කළමනාකාරීත්වය සමඟ අඛණ්ඩව සාකච්ඡා පවත්වමින්  මෙම සේවකයන් ගුවන් සමාගම වෙත බඳවා ගැනීම සිදුකරයි. ගුවන් සමාගම වෙත බඳවා ගැනීමට නොහැකි වූ සේවකයන් සඳහා රජයේ විශේෂ නියාමයන්ට අනුව සේවය අත්හිටුවීමේ වන්දි  දීමනාවක් (service severance package) ලබාදීමට කටයුතු කරන අතර එහි සියලු විස්තර මිහින් ලංකා සේවකයන් හා බෙදාගෙන ඇත.

ජාතික ගුවන් සේවා  ක්ෂේත්‍රය දිගුකාලීනව  නැවත ප්‍රතිව්‍යුහගත කිරීමේ උපාය මාර්ගික සැලසුම් හා ශ්‍රීලංකන් ගුවන් සමාගමේ නව උපාය මාර්ගික  සැලසුම්  වන ආසියාව සහ  මැදපෙරදිග කලාපය  වෙත  වෙළෙඳපොළ ව්‍යාප්ත  කිරීමේ වැඩපිළිවෙළ සඳහා ශක්තියක් වීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය විසින් පාඩු ලබන පිරිමැසුම්දායි ගුවන් සේවයක් වන මිහින්  ලංකා සේවය අත්හිටුවීමට ප්‍රතිපත්තිමය  තීරණය ගෙන තිබේ. මිහින් ලංකා ගුවන් සමාගමේ සමස්ත ගුවන් ගමන්  මාර්ග 10ක් ශ්‍රීලංකන් ගුවන් සමාගම වෙත  ලබාදෙමින්  පසුගිය ඔක්තෝම්බර් මස  29 වැනිදා එහි අවසන් ගුවන් මෙහෙයුම්  සිදුකර ඇත.

මේ අනුව ශ්‍රීලංකන් ගුවන් සමාගම සීෂෙල්ස්, බහරේන්, මස්කට්, ජකාර්තා, මදුරාසිය, කල්කටා, ලාහෝර්, ඩකා, වරණාසි සහ බුද්ධගයා වෙත මෙහෙයුම් සිදුකරමින් එහි ගෝලීය ගුවන් ගමන් ජාලය ව්‍යාප්ත කර ඇත. ගුවන් සමාගම  විසින් 2016  දෙසැම්බර් මස 2වැනිදා සිට මාලදිවයිනේ ගැන් දිවයින  වෙත  මෙහෙයුම් ආරම්භ කිරීමත්  සමඟ  ශ්‍රීලංකන්  මෙහෙයුම් රටවල් 47 ගමනාන්ත  101 දක්වා විහිදී යනු ඇත. වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා සන්ධානයේ සාඩම්බර  සාමාජිකයෙකු  වන  ශ්‍රීලංකන් හි වන්වර්ල්ඩ් ගෝලිය ගුවන් ජාලය රටවල් 160 ගමනාන්ත 1000ත් දක්වා ව්‍යාප්ත වී ඇත. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.