• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

රට නොසන්සුන් කිරීමේ උත්සාහයන් හමුවේ අවබෝධයෙන් කටයුතු කළ යුතුයි - ජනපති

HE news 2016.11.08අද විවිධ සංවිධාන රට නොසන්සුන් කිරීමේ ව්‍යාපාරවල නිරතව සිටින අතර මේ පිළිබඳ රටේ සියලු මහජනතාව අවබෝධයෙන් කටයුතු කළ යුතු බව ජනාධිපතිතුමා පවසයි.

 

සිංහල, මුස්ලිම් ජනතාව අසමගි කිරීමේ මෙන්ම සාමාන්‍ය ජනතාව නොසන්සුන් කිරීමේ විවිධ කුමන්ත‍්‍රණ අද රට තුළ දියත් වෙමින් තිබෙන බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව සඳහන් කළේ, පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් දැයෙන් සමුගෙන වසරක් පිරීම නිමිත්තෙන් ඊයේ (08) පස්වරුවේ ශී‍්‍ර ලංකා පදනම් ආයතනයේ පැවති ගුණසමරු උත්සවය අමතමිනි.

යුද්ධය කළ රණවිරුවන්ගේ ඉල්ලීම් ඉටු කිරීමට රජය තීන්දු කර තිබුණේ මීට මාස 04 කට පෙර වුවද යම් දේශපාලන වුවමනාවන් මත එම අසරණ රණවිරුවන් නොමග යවමින් ගැටලුකාරී තත්ත්වයක් මතුකිරීමට ඇතැම් පිරිසක් උත්සාහ කළ බවද ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය.

මේ රට යහපත් රටක් ලෙස ගොඩනැගීමට පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිපාණන් වහන්සේ ඉතා අභීතව කටයුතු කළ බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා ආගමික, ශාසනික, සමාජයීය වශයෙන් මෙන්ම ජාතියේ අනාගතය වෙනුවෙන් උන්වහන්සේ කැපවීම් සහ පරිත්‍යාගයන් සිදුකරනු ලැබුවේ, පොදු අපේක්ෂක මැතිවරණ ව්‍යාපාරයේ ආරම්භයටත් පෙර ඉතා දීර්ඝ කාලයක සිට බවද සඳහන් කළේය.

සෝභිත හිමියන්ගේ සමාජ මෙහෙවර ඉදිරියට ගෙනයමින් සුවිශේෂී ජාතික මෙහෙවරක් ආරම්භ කිරීම සඳහා මධ්‍යස්ථානයක් ඉදිකිරීමට දොස්තර රාජා විජේතුංග මහතා විසින් ඉඩමක් පරිත්‍යාග කිරීම ද මෙහිදී සිදු කෙරිණි.

සෝභිත හිමිගේ ජාතික මෙහෙවර පිළිබඳ කෙටි වාර්තා චිත‍්‍රපටයක් ද ප‍්‍රදර්ශනය කෙරුණු අතර සෝභිත හිමි ගුණසමරු ග‍්‍රන්ථය ජනාධිපතිතුමා සහ අගමැතිතුමා වෙත පිළිගැන්වීය.

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා ද මෙහිදී අදහස් දැක්වීය.

කෝට්ටේ ශී‍්‍ර කල්‍යාණි සාමග්‍රී සංඝ සභාවේ මහානායක ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක හිමිපාණන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද අන්‍යාගමික පූජකවරුන් ද, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, විපක්ෂ නායක ආර්. සම්බන්දන්, හිටපු ජනාධිපතිනි චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග යන මහත්ම මහත්මීන් ඇතුළු ආරාධිත පිරිසක් මෙම ගුණසමරු උත්සවයට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.