• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

දරුවන්ගේ සුබසාධනය සහ ආරක්ෂාව වෙනුවෙන් ජාතික ප‍්‍රතිපත්තියක් – ජනපති අවධාරණය කරයි

childළමයින්ට වනහානිය වළක්වමින් ළමා ලෝකය සුරක්ෂිත කිරීම වැඩිහිටියන් වන සියලු දෙනාගේ වගකීම බව පෙන්වා දෙන ජනාධිපතිතුමා දරුවන්ගේ සුබසාධනය සහ ආරක්ෂාව වෙනුවෙන් ජාතික ප‍්‍රතිපත්තියක් කඩිනමින් හඳුන්වාදීමේ අවශ්‍යතාවය අවධාරණය කළේය.

“දරුවන් සුරකිමු” ජාතික වැඩසටහන (2017-2019) පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිතුමා මේ බව පෙන්වා දුන්නේය.

දරුවන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය වෙනුවෙන් වත්මන් රජය විශේෂ අවධානයක් යොමු කරමින් කටයුතු කරන අතර ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි විශේෂ ජනාධිපති කාර්ය සාධන බලකායක් ද ඒ වෙනුවෙන් ස්ථාපිත කර තිබේ. ජනාධිපති කාර්යාලයේ අධීක්ෂණය යටතේ කි‍්‍රයාත්මක වන පස්වන ජනාධිපති කාර්ය සාධන බලකාය එයයි.

දරුවන් සම්බන්ධ අධිකරණ කටයුතු කි‍්‍රයාත්මකවීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්වූ අතර එම අධිකරණ කටයුතු කඩිනම් කිරීමටත් එහිදී ළමා මනසට හානියක් නොවන ආකාරයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවයත් ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.දරුවන් සුරකිමු ජාතික වැඩසටහනේ 2017- 2019 සැලැස්ම පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්වූ අතර අපයෝජන, අපහරණ වැළැක්වීම හා ළමා ආරක්ෂාව තහවුරු කිරීම, සෞඛ්‍ය, පෝෂණය හා සුබසාධනය, පෞරුෂ සංවර්ධනය, අධ්‍යාපනය සහ ජීවන කුසලතා ආදි කරුණු පිළිබඳ සාකච්ඡාවට ලක් විය.කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය ඇතුළු ළමයින් සම්බන්ධ ආයතන නියෝජනය කරමින් නියෝජිතයින් ද, ජනාධිපති ලේකම් පී.බී.අබේකෝන් මහතා ද, වැඩබලන නීතිපති, පොලිස්පති ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

මේ අතර නීතිමය කි‍්‍රයාමාර්ගයකට මුහුණදීම හේතුවෙන් අධ්‍යාපන අවස්ථා අඩාලවීමේ අවධානමකට මුහුණදුන් තවත් විශේෂ දරුවෙකු වෙත ද අද ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය.

ඒ ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්වී එහි දත්ත වෙනස් කිරීමේ සිදුවීමට අදාළ පාසල් සිසුවායි.අද පස්වරුවේ එම පාසල් සිසුවා ජනාධිපති කාර්යාලයට ගෙන්වාගත් ජනාධිපතිතුමා ඔහුගේ තොරතුරු විමසීය.සිසුවා වෙනුවෙන් විශේෂ තිළිණයක් ප‍්‍රදානය කිරීමට ද ජනාධිපතිතුමා අමතක නොකළ අතර ඔහුගේ ඉදිරි අධ්‍යාපන අවස්ථා සාර්ථක කර ගැනීමට තම ආශිර්වාදය පළ කළේය.තමා විසින් භාවිතා කරනු ලබන්නේ තමා විසින්ම කොටස් එක් කර සකස්කරගන්නා ලද පරිගණකයක් බව මෙහිදී එම දරුවා ජනාධිපතිතුමා සමඟ පැවසූ අතර තම පවුලේ සාමාජිකයින් මුහුණදී සිටින නිවාස ගැටලුව ද ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළේය.දෙමාපිය රැකවරණය යටතේ වසර 03 ක් මෙම සිසුවා පරිවාසභාරයට පත්කර තිබෙන අතර එම නීතිමය කටයුතු කඩිනම් කරමින් සිසුවාගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට අවශ්‍ය පසුබිම පිළිබඳව ද මෙහිදී ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.