• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ස්වභාවික සම්පත්වලින් නිසි පල නෙළා ගනිමින් රට ගොඩනැගීමට විද්‍යාඥයින්ගේ සහ පර්යේෂකයින්ගේ පුළුල් අවධානය යොමු විය යුතු බව ජනපති පවසයි

President media 2016.11.23ස්වභාවික සම්පත්වලින් අනූන රටක් වු අපේ රටේ එම සම්පත්වලින් නිසි පල නෙළා ගනිමින් සංවර්ධන කි‍්‍රයාවලිය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් තමන්ගෙන් ඉටුවන කාර්යභාරය පිළිබඳ විද්‍යාඥයින්ට සහ පර්යේෂකයින්ට සෑහීමකට පත්විය හැකිද යන්න ඔවුන් හදවතින් අසා ගත යුතු ප‍්‍රශ්නයක් බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හි ඊයේ (22) පස්වරුවේ පැවති විද්‍යාත්මක ප‍්‍රකාශන සඳහා වු ජනාධිපති සම්මාන ප‍්‍රදානෝත්සවය අමතමිනි.රටේ සංවර්ධනය සහ අනෙකුත් සමාජ ප‍්‍රශ්න වලට විසඳුම් ලබාදිම දේශපාලනඥයා වෙත පැවරීම අද සමාජ සම්ප‍්‍රදාය වුව ද ඒ පිළිබඳ පුළුල් වගකීමක් විද්‍යාඥයින්ට සහ පර්යේෂකයින්ට ද පැවරෙන බව ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය.රටක් ලෙස අද මුහුණ දී සිටින බරපතළ අභියෝගයක් වන වකුගඩු රෝගය පිළිබඳ වසර විස්සක් පුරා පර්යේෂණ සිදු කළ ද සියලුදෙනාගේ එකඟතාවයෙන් අවසාන නිගමනයකට එළැඹිමට තවමත් නොහැකි වීම කණගාටුවට කරුණක් බව පැවසු ජනාධිපතිතුමා මෙම ගැටලුව විසඳා ගැනීම සඳහා ශ‍්‍රී ලාංකික උගතුන්ගේ කැපවීම තමා ඉතා ගෞරවයෙන් අපේක්ෂා කරන බව ද සඳහන් කළේය.

එමෙන්ම ස්වභාවික සම්පත් සුරක්ෂිත කරමින් පෝෂණය කිරීමේ වැඩපිළිවෙලේදීත්, මත්ද්‍රව්‍ය උවදුරෙන් රටේ අනාගත පරපුර බේරා ගැනීමේ ජාතික වගකීම ඉටුකිරීමේදීත් මෙරට විද්‍යාඥයින්ගේ සහ පර්යේෂකයින්ගේ දායකත්වය මීට වඩා අපේක්ෂා කරන බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

විද්‍යාඥයින් සහ පර්යේෂකයින් දිරිමත් කිරීමට සහ ශක්තිමත් කිරීමට රාජ්‍ය ප‍්‍රතිපත්තිය අනුවම වත්මන් රජය කැපවී සිටින බව පැවසු ජනාධිපතිතුමා මෙරට විද්‍යාත්මක පර්යේෂණ සඳහා වාර්ෂිකව වෙන් කරන මුදල තව තවත් වැඩි කරමින් මෙන්ම භෞතික සහ මානව සම්පත් පුළුල් කරමින් තෘප්තිමත් මනසකින් යුතුව තම පර්යේෂණ ප‍්‍රකාශන එළිදැක්වීමට සියලු විද්‍යාඥයින්ට සහ පර්යේෂකයින්ට අවස්ථාව සලසා දෙන බව ද කියා සිටියේය.එමෙන්ම මාධ්‍ය භාවිතය පිළිබඳව අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ රට වෙනුවෙන් මාධ්‍යයේ වගකීම පුළුල් පරාසයක පවතින බවයි.

ආණ්ඩු පෙරළීම, තිබෙන ආණ්ඩුව අප‍්‍රසාදයට පත් කිරීම හා දේශපාලනඥයින් බලයෙන් පහ කිරීමට සීමා වු චින්තනයෙන් බැහැරව රට ගොඩනගමින් ජාතියක් ලෙස ඉදිරියට යාමේ යහපත් පණිවිඩයක් රටට ලබාදීම මාධ්‍යයේ වගකීමක් බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.ජාතික පර්යේෂණ සභාව විසින් මෙම සම්මාන උළෙල වාර්ෂිකව සංවිධානය කරනු ලබන අතර 2014 වර්ෂය සඳහා වෛද්‍ය, කෘෂිකර්ම, ඉංජිනේරු ආදී ක්ෂේත‍්‍රවල නිපුණතා දැක්වුවන් එකසිය හැට හත් දෙනෙකු වෙනුවෙන් මෙහිදී සම්මාන පිරිනැමිනි.විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත, රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න, විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ ලේකම් ආර්. විජයලෙච්චමි, ජාතික පර්යේෂණ සභාවේ සභාපති ජනක ද සිල්වා යන මහත්ම මහත්මීන් ද විශ්ව විද්‍යාල උපකුලපතිවරු, ආචාර්ය, මහාචාර්යවරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.